විකිණීම සහ ණය ගැනීම ආර්ථිකය සංවර්ධනය විය හැකි මාවතක් නම් මේ වන විට ශ්රී ලංකාව ඉදිරියට ගොස් තිබිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත.
ඔහු එසේ ප්රකාශ කර ඇත්තේ ඊයේ (16) දකුණු කොරියාවේ තේගු නගරයේ එක්ස්කෝ හෝල්හිදී පැවති එහි ශ්රී ලාංකික හමුවක් අමතමිනි. ණය ගැනීමෙන් සහ විකිණීමෙන් මෙරට ආර්ථිකය ගොඩ යන්නේ නැති බව මේ වන විට ඔප්පු වී තිබෙන බවද මෙහිදී ප්රකාශ කළ දිසානායක මහතා එකම ප්රතිපත්තිය දීර්ඝ කාලයක සිට හෝද හෝදා මඩේ දැමීමේ මාවතක මෙරට ගමන් කරන බවද ප්රකාශ කර තිබේ. එම ප්රතිපත්තිය යටතේ මේ වන විට සිදු වී ඇත්තේ කුමක්දැයි මෙහිදී ප්රශ්න කර ඇති ජාතික ජන බලවේගයේ නායකයා එම ක්රියාමාර්ගය මඟින් තරුණයන්ට රැකියා නැති, දරුවන්ට සහ රෝගීන්ට ගැටලු ඇති කරවන රටක් නිර්මාණය වී ඇති බවද පවසා ඇත.
එම නිසා වර්තමානයේ ශ්රී ලංකාව අනුගමනය කරන ආර්ථික ප්රතිපත්තියට වෙනස් නව ආර්ථික ප්රතිපත්තියක් රටට ගෙන ඒමට ජාතික ජන බලවේගය සූදානම් බවද අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
උපාලි කරුණාරත්න





