කර්මාන්ත අංශය නඟා සිටුවීමට නම් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් කර්මාන්ත වෙනුවෙන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (10) කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත ආංශික උපදේශන සභා 9ක් සඳහා පත් කළ සභාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කරමිනි. විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරමින් ආංශික උපදේශන සභා 20ක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, මීට පෙර ආංශික උපදේශන සභා 11ක් සඳහා පත් කළ සභාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කර ඇත. ඇඟලුම්, ඖෂධ, ලෝහ හා අච්චු, තීන්ත හා රසායනික ද්‍රව්‍ය, බෝට්ටු නිෂ්පාදන, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ, රබර්, ප්ලාස්ටික් හා ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ආංශික උපදේශන සභා සඳහා පත් කළ සභාපතිවරුන් වෙත මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි. මෙම ආංශික උපදේශන සභා මඟින් අදාළ කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රතිපත්ති සකස් කිරීම සිදු කරයි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.
“රටක ආර්ථිකයේ වැදගත්ම ස්ථානය හිමිවන්නේ කර්මාන්ත අංශයටයි. කර්මාන්ත රැක ගැනීමට මෙන්ම දියුණු කිරීමට නම් කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතා වැදගත්. එසේ නොමැති අවස්ථාවල දේශීය කර්මාන්ත පවත්වාගෙන යෑම ගැටලුවක් බවට පත් වෙනවා. රට තුළ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනුවට ආදේශන භාණ්ඩ රට තුළට පැමිණීම වැළැක්විය යුතුයි. එසේ නොවුණහොත් දේශීය කර්මාන්ත කඩා වැටීම වැළැක්විය නොහැකියි. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් ශක්තිමත් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. මෙය රටේ මතයක් ලෙස ඉදිරියට ගෙන ඒම කළ යුතුයි. ඒ සඳහා වගකීමක් කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට ද තිබෙනවා. ඒ වගේම අප රටේ කර්මාන්ත සංවර්ධනය සඳහා රාජ්‍ය ආයෝජනය ඉතා අවම මට්ටමකයි පවතින්නෙ. ඉදිරි වර්ෂවලදී අප එම ආයෝජනය වැඩි කොට වඩා ප්‍රමුඛතාවය කර්මාන්ත වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.”
උදුලා පීරිස්





