රට ගොඩ ගන්න නම් අධ්‍යාපනයේ බෙදීම් නැති කළ යුතුයි
රට ගොඩ ගැනීමට නම් අධ්‍යාපනයේ ඇති බෙදීම නැති කළ යුතු බවත්, සමඟි ජන බලවේගයේ අරමුණ රජයේ පාසල් 10,150ම ගුණාත්මක භාවයෙන් ඉහළ ජාත්‍යන්තර මට්ටමේ පාසල් ලෙස සංවර්ධනය කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.]
රටක් ලෙස ගොඩ ඒමට නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කළ යුතු බවත් ඒ සදහා අධ්‍යාපන ක්‍රමය නිවැරදි විය යුතු බවත්, රටේ අධ්‍යාපන තුළ බෙදීමක් ඇති නොකර ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට සැමට ප්‍රවේශ විය හැකි අවස්ථාව දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ‘සක්වළ‘ වැඩසටහනේ 26 වැනි පියවර යටතේ හම්බන්තොට රන්මිහිතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සවයකට එක් වෙමිනි. ලෝකයේ අනෙක් රටවල් සමඟ හුදෙකලාව සිටින තාක් කළ අප වීරයන් ලෙස සූරයන් ලෙස පෙනුණත්, ලෝකයට රට විවෘත කළ හොත් අප සිටින්නේ ඉතා පහළ තත්ත්වයක බවත් විපක්ෂ නායකවරයා කීය. එසේම අප රටේ පාසල්වලට විදුලි බිල ගෙවීමට පවා නොහැකි වී ඇති අවස්ථාවක අගනුවර වීදුරු කාමර ඇතුළේ සිට රටේ නායකයන් ඩිජිටල් විප්ලව ගැන කතා කරද්දී ගමේ පාසල්වල තොරතුරු තාක්ෂණ ගුරුවරු නැති බවත්, සමහර ගුරුවරුන් පාසල් 2ක තොරතුරු තාක්ෂණය උගන්වන තත්ත්වයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සමඟි ජන බලවේගය විසින් රන්මිහිතැන්න විද්‍යාලයේදී ‘සක්වළ‘ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී විදුලි බල මණඩලය විසින් විදුලිය කැපීමට පැමිණි අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම විදුලි බිල ගෙවන ලදි.
දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක ‘සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු‘ සහ නවීන පරිගණක පරිත්‍යාග කරන ‘සක්වළ‘ වැඩසටහනෙහි 26 වන පියවර ලෙස රු. 924,000ක් වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
රක්ෂණ ශ්‍රියන්ත





