Home Politics News Room : අඩු ආදායම් ලබන්නන් සවිබල ගැන්වීම රජයේ ප්‍රධානම කාර්යය විය...

News Room : අඩු ආදායම් ලබන්නන් සවිබල ගැන්වීම රජයේ ප්‍රධානම කාර්යය විය යුතුයි

0
0

මන්ත්‍රී එස්. බී. දිසානායක

අඩු ආදායම් ලබන කෘෂිකාර්මික ගොවියන් සහ ඉතා කුඩා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම රජයේ ප්‍රධානම කාර්යය විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“බංකොලොත්ව තිබූ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් අනුමත කරගෙන ඒ තත්ත්වයෙන් ගැලවිලා තිබෙනවා. මේ වෙලාවෙ අපට තිබෙන ප්‍රධාන කාර්යය තමයි, අඩු ආදායම් ලබන කෘෂිකාර්මික ගොවියන් සහ ඉතා කුඩා ව්‍යවසායකයන් ඉහළට ගෙන ඒම. ඒ අනුව තමයි, මේ ආර්ථිකය ගොඩනංවන්න පුළුවන්. අපට සංචාරක කර්මාන්තය දියුණු කරගන්න අවශ්‍යයි. අපේ රටේ නව ආයෝජන හදාගන්න අවශ්‍යයි. ඒ නිසා අපේ රාජ්‍ය ගොවිපොළ ටික කාර්යක්ෂම කරමින් නුවරඑළියේ පාඩු ලබන ගොවිපොළවල් ලාභ ලබන තැනට ගේන්න පුළුවන් නම් අපටත් විශාල වෙනසක් කරන්න පුළුවන්.

බොහෝ දියුණු රටවල සෑම කෙනකුටම මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් තිබෙනවා. අපට තවම ඒ වගේ තැනකට යන්න බැරි වෙලා තිබෙනවා. රක්ෂණය තිබෙන්න ඕන මීට වඩා ඉහළින්. මේ රටේ විදේශ ආයෝජකයන්ට හිතකර පරිසරයක් නෑ. අයෝජකයන් ලංකාවට එනවා කියලා හිතනකොට විරෝධය පල කරනවා. කෝටි අනු එක්දහක් ණයයි විදුලිබල මණ්ඩලය බැංකුවලට. මෙයට පෞද්ගලික ආයෝජකයන් සම්බන්ධ කරගන්නවා කියලා කිව්වාම විශාල වර්ජනයකට යනවා. ඒ නිසා මම කියන්නේ ඒ වගේ තීන්දු තීරණ ඉහළින් අරගෙන මේ රට ගොඩනැඟුවේ නැත්නම් මේ රට ඉදිරියට යන්න බෑ. 69 ලක්ෂයක් මේ රටේ ජනතාව ඡන්දය දීලා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළේ බෙන්සියෝපින් වගේ චීනය නැගිට්ටවයි කියලා හිතාගෙන. ගෝඨාභය මහතා වෙන මඟක් ගත්තා. එතුමා පුදුමාකාර අවිහිංසාවාදී මඟක් ගත්තා. හැබැයි අමතක කරන්න හොඳ නෑ, ඔහු රටේ ආර්ථිකය හරි මාවතකට තල්ලු කරගෙන ආවා. ආර්ථිකය බිංදුවට වට්ටලා ණය සේවා බිලියන 06කට අරන් ගිහිල්ලා හිරකරලා එතුමාට රට භාර දෙන කොට ඒත් එක්කම කෝවිඩ් වසංගතය ආවා. ඒ අවස්ථාවේදී අපි ලෝකයේ දෙවැනි වුණේ චීනයට විතරයි. අපි ඉතා සාර්ථකව කොවිඩ් වළක්වා ගත්තා. එහි දෙවෙනි තුන්වෙනි රැලි ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ සහ සමඟි ජන බලවේගය. ගෝඨාභය ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය පිළිබඳව ගත් තීන්දු සම්පූර්ණයෙන් වැරදියි. එතුමාට සංඛ්‍යාලේඛන දුන් පිරිස් වැරදියි. ඒ ප්‍රශ්නයෙන් රටේ ආර්ථිකය එක පැත්තකින් වැටුණා. නමුත් මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න විශාල වශයෙන් වියදම් කරන්න වුණා. එන්නත්වලට පුදුමාකාර විදියට වියදම් කරන්න වුණා.”

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here