යුද්ධයේ අවසන් දිනවල යුද හමුදාවට බාර වු පිරිස් සොයා දෙන ලෙසට ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කොට ඇති හබයාස් කෝපුස් පෙත්සම් තුනක් සම්බන්ධයෙන් වන නඩු විභාගය ලබන මැයි මස 11 වැනිදා දක්වා නැවත කල් තැබීමට වවුනියාව මහාධිකරණය පසුගියදා නියෝග කරනු ලැබීය.
පෙත්සම්කාර බිරින්දෑවරුන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.රත්නවේල් සඳහන් කළේ නඩු විභාගය පෙබරවාරි 23 වැනිදා විභාගයට ගන්නා ලද අවස්ථාවේදී, පෙත්සම්කරුවන් සඳහන් කරන අතුරුදන්වූවන් මාර්තු 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ එසේ කළ නොහැකි නම් ඊට හේතු සඳහන් කරන ලෙසට වවුනියාව මහාධිකරණය යුද හමුදාවට නියෝග කර තිබූ බවය.
එහෙත් පසුගියදා නඩු විභාගය කැඳවු අවස්ථාවේ වවුනියාව මහාධිකරණය අදාළ හබයාස් කෝපුස් නඩු විභාගය නැවත මැයි 11 වැනිදා දක්වා කල්තැබීය.
අතුරුදහන්වූවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ එසේ කළ නොහැකි නම් ඊට හේතු සඳහන් කරන ලෙසට අධිකරණය පසුගිය නඩු වාරයේදී ලබාදුන් අදාළ නියෝගය උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ලබාගත් ජයග්‍රාහණයක් බව ආනන්දි සෂිදරන් සඳහන් කළාය.
ආනන්දි සෂිදරන්ගේ ස්වාමිපුරුෂයා වන සින්නතුරෙයි සසිදරන් නොහොත් එළිලන් යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ වවුනියාව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් භාර නායක ලෙස කටයුතු කර තිබුණි.
යුද සමයේ උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයින් 20000 කට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බව අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ සඳහන් කළහ.
අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සුවිශේෂී අධිකරණ නියෝගයක්
යුද්ධයේ අවසන් දිනවල යුද හමුදාවට භාර වූ පිරිස් සොයා දෙන ලෙස ඔවුනගේ ඥාතීන් විසින් ගොනුකොට ඇති හබයාස් කෝපුස් පෙත්සම් තුනක් පෙබරවාරි 23 වැනිදා විභාගයට ගන්නා ලද අවස්ථාවේ දී, පෙත්සම්කරුවන් සඳහන් කරන අතුරුදන් වුවන් මාර්තු 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝ, එසේ කළ නොහැකි නම් ඊට හේතු සඳහන් කරන ලෙසට වවුනියාව මහාධිකරණය යුද හමුදාවට නියෝග කර තිබුණි.
අතුරුදහන්වූවන් සොයා දෙන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කළ ඔවුන්ගේ භාර්යාවන් විසින් ලබා දී ඇති සාක්ෂි පදනම්කර ගනිමින් මහාධිකරණය එලෙස නියෝග කර තිබුණි.
පොන්නම්බලම් කන්දසාමි (කන්දම්මාන්), සින්නතුරෙයි සසිදරන් (එළිලන්) සහ රුද්‍රමූර්ති ක්‍රිෂ්ණකුමාර් (කොලොම්බස්) යන තිදෙනා වෙනුවෙන් ගොනුකොට ඇති හබයාස් කෝපුස් පෙත්සම් විභාගයට ගැනීමේ දී මහාධිකරණය එලෙස නියෝග කොට තිබිණ.
මහාධිකරණය ලබාදුන් නියෝගය පීඩාවට පත්ව සිටින අතුරුදහන්වූවන්ගේ පවුල්වලට මහත් අස්වැසිල්ලක් වනු ඇතැ යි නිතීඥ රත්නවේල් පැවසුවේ ය.






