Home Local News Room : මෙන්න ප්‍රවෘත්තියක්! ජවිපෙ හදලා විප්ලව දෙකක් කරපු රෝහණ විජේවීරගේ...

News Room : මෙන්න ප්‍රවෘත්තියක්! ජවිපෙ හදලා විප්ලව දෙකක් කරපු රෝහණ විජේවීරගේ අලු බාරගන්න පවුලේ අයත් නෑලු! ජවිපෙත් නෑලු! කිව්වා කිව්වා එන්නෙත් නෑලු!

4
0

වසර කීපයක් පුරා තමා සන්තකයේ තිබෙන රෝහණ විජේවීරගේ භෂ්මාවශේෂ භාර ගැනීමට පැමිණෙන ලෙස තමා විජේවීරගේ පුත් උවිඳු විජේවීර ඇතුළු පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කළද ඒ කිසිවකුගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් නැති බව බස්නාහිර පළාත් හිටපු එජාප මන්ත්‍රි ජනක මල්ලිමාරච්චි කීය’

භෂ්මාවශේෂ භාර ගැනීමට උවිඳු විජේවීර මාස කීපයකට පෙර තමාට පොරොන්දු වුවත් ඔහු නොපැමිණි බවද හෙතෙම කීය.

ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනය කර මේ නොවැම්බර් දහතුන් වැනි දිනට වසර තිස් තුනකි. එම දිනය නිමිතිකර ජනතා විමුක්ති පෙරමුණ වාර්ෂිකව ඉල්මහ විරු සමරුව නමින් උපහාර උළෙලක් ද පවත්වයි.

යුද හමුදා අත්අඩංගවට පත්වීමෙන් පසු බොරැල්ල ගොල්ෆ් ක්‍රීඩාංගණයේ දී වෙඩි තබා ඝාතනය කර බොරැල්ල කනත්තේ දී දවා අළු කළ රෝහණ විජේවීරගේ භෂ්මාවෂේෂ ජනක මල්ලිමාරච්චිට දී ඇත්තේ කනත්තේ සේවකයකු විසිනි. ඒ එය භාර ගැනීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

“ජවිපෙ විජේවීරගේ අළු භාර ගත්තේ නෑ. විජේවීරගේ බිරිඳත් භාර ගත්තේ නෑ. ළමයි භාර ගත්තෙත් නෑ අන්තිමේ දී භෂ්මාවශේෂවල අයිතිකාරයා වෙලා ඉන්නේ මම. මගේ දේශපාලනයට විජේවීර කොහොමත් ගැලපෙන්නේ නැති වුණත් මේ මනුස්සයකුගේ භෂ්මාවශේෂ අපේ සංස්කෘතින් හැටියට ඊට ගෞරවයක් හිමි විය යුතුයි. ඒ නිසා මම ආරක්ෂාකාරී ලෙස රහසිගත ස්ථානයක භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙනවා යැයි” ජනක මල්ලිමාරච්චි වැඩිදුරටත් කීය.

ජනක, ආර්. ප්‍රේමදාස පාලන යුගයේ ප්‍රබල ඇමැතිවරයකු හා හිටපු ජනපතිවරයාගේ හිතෛෂියකු වන අභාවප්‍රාප්ත වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතෙකි. ජනක මල්ලිමාරච්චිගේ සොයුරා වන ජනන්ත මල්ලිමාරච්චි භීෂණ සමයේ ඝාතනය වූයේ ජවිපෙ තුවක්කුකරුවන් අතිනි. -අරුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here