වැරැදි ආර්ථික ප්‍රතිපත්ති නිසා 2020 වසරේදී රුපියල් බිලියන 700ක බදු ආදායමක් අහිමිවීම ආර්ථික කඩාවැටීමට ප්‍රධාන හේතුව වී යැයිද මතුව ඇති විරෝධතා නිසා නව බදු ආපස්සට හැරෙව්වොත් රට නැවතත් පෝලිම් යුගයටම වැටෙනු ඇතැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (19දා) පැවැසීය.
පසුගිය දෙවසරේදී රුපියල් බිලියන 2300ක් මුදල් මුද්‍රණය කිරීමෙන් සියයට 75ක් දක්වා උද්ධමනය ඉහළ ගියේ යැයි කී හෙතෙම නව බදු ක්‍රමයට යොමුවුණේ මේ සියල්ල සලකා බලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද උපදෙස් පරිදි යැයිද අවධාරණය කළේය.
වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළින් ඉවත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයද ලංකාවට අහිමි වනු ඇතැයිද එනිසා අකැමැත්තෙන් වුවද අසීරු තීරණ ගැනීමට සිදුවනු ඇතැයිද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ වැදගත් පියවරක් පසුගිය සතියේ සිදුවුණා. මුදල් රාජ්‍ය ඇමැතිතුමා යටතේ කණ්ඩායමක් වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමට පසුගිය 7 වැනිදා සහභාගි වුණා. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ලංකාවට ණය ලබා දුන් රටවල් හා ණය ලබාදුන් සමහර පෞද්ගලික ආයතන සමඟ රැස්වීමක් පැවැත්වූවා. 75 දෙනකුට වැඩි පිරිසක් සෘජුව සහ සූම් තාක්‍ෂණය ඔස්සේ එම රැස්වීමට සහභාගි වුණා.
ලංකාවට ණය ලබාදුන් ප්‍රධාන රටවල් තුන වන ජපානය, චීනය සහ ඉන්දියාව සමඟ පොදු වේදිකාවකට පැමිණ සහන ලබාදීමට ගතයුතු ඉදිරි පියවර කුමක්ද යන්න සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවත් මේ රැස්වීමේදී පෙන්වා දුන්නේ පොදු වේදිකාවක තිබෙන අවශ්‍යතාව. ඉන්දියාව සහ චීනය ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කර පිළිතුරු ලබාදෙන බව දන්වා තිබෙනවා. ඒ වගේම ද්විපාර්ශ්වික සාකච්ඡාත් අවශ්‍ය වෙන්න පුළුවන් කියලා දැනුම් දී තිබෙනවා.
තවත් රටවල් ගණනාවක් මෙයට සහභාගි වුණා. විශේෂයෙන් ඇමරිකාවේ භාණ්ඩාගාරයේ සහකාර ලේකම්වරයෙක් මේ සාකච්ඡාවට පැමිණියා. මේ සියල්ල සිදුකිරීමට අපට අවස්ථාවක් ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපි ගත් තීන්දු ක්‍රියාත්මක කරන නිසයි.
ලංකා රජයේ ආදායම් පිළිබඳව එක් කාරණයක් මතුව තිබෙනවා. 2015 ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේ ප්‍රාථමික අය – වැයෙහි අතිරික්තයක් අවශ්‍ය බව අපිට දැනුම් දුන්නා. ඒ වගේම අපි 2017-2018 වර්ෂවල ඒ අතිරික්තය ලබා දුන්නා. නමුත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා එය අඩුවුණා. ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපිට ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් තිබෙන නිසා අපේ ආදායම වැඩි කරගන්න අපිට පුළුවන් වෙයි කියා ඒ අය බලාපොරොත්තු වුණා.
එදා අපේ ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් – 15%ක් අතර ප්‍රමාණයක්. එහෙත් ක්‍රමානුකූලව මෙය 17%-18%කට වැඩි කරගන්න පුළුවන් කියලා තමයි අපි එකඟ වුණේ.
නමුත් 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩුවුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම්වලින් අෑත්වෙලා ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා.
අපිට රුපියල් බිලියන 600ක්, 700ක් පමණ ඒ වසරේ අහිමි වුණා. ඒ එක්කම කොවිඩ් වසංගතයටත් අපිට මුහුණදීමට සිදුවුණා. ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතු වුණේ මෙම තත්ත්වයයි.
අපේ ප්‍රාථමික අය – වැයේ අතිරික්තයක් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දුන්නා. ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අපිත් එයට එකඟ වුණා.
අනිත් කරුණ තමයි රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% සිට 14.5%ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම. එය එකවර සිදු කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා 2026 වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් දක්වා ආදායම වැඩිකර ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා.
රටේ ආදායම වැඩිකර ගන්නේ කෙසේද කියා පළමුවෙන්ම අපට සිතන්න සිදුවෙනවා. ආදායම අඩු වූ නිසා අපි මුදල් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙකේදී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්. ඒ නිසා උද්ධමනය 70%-75%ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩිවී තිබෙනවා.
මේවා පාලනය කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ආදායම ලබා ගැනීමටත් අවශ්‍යයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති මෙම සාකච්ඡාවලදී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. අපනයන කර්මාන්තවලටත් බදු ගෙවන්න අවශ්‍යයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම්දී තිබුණා.
අපනයන ආර්ථිකයක් තිබෙන රටවල් බදු ගෙවන බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ වගේම ඔවුන් සඳහන් කළේ අපේ පළමුවැනි අපනයන ආර්ථිකය වුණේ වැවිලි කර්මාන්තය බවත්, බි්‍රතාන්‍ය පාලන කාලයේදී තේ, පොල්, රබර් සෑම වැවිලි ක්‍ෂේත්‍රයකින්ම බදු ගෙවීම සිදුකළ බවත්ය. ඒ නිසා අපි එම ඉලක්කයට ගමන් කරනවා නම් බදු ගෙවන්න සිදුවෙයි කියා දැනුම් දුන්නා.
ඒ ගැන දැන් අපනයන ක්ෂේත්‍රය අපෙන් ප්‍රශ්න කර තිබෙනවා. එම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
දෙවැනි කාරණය පෞද්ගලික බදු. අපි වැඩිපුරව බදු ලබාගත්තේ වක්‍ර බදු ලෙසයි. රටේ දුප්පත් සාමාන්‍ය ජනතාවටත් එම වක්‍ර බදු ගෙවීමට සිදුවුණා. අපි සෘජුව ලබාගත් බදු ආදායම 20%යි. 80%ක ප්‍රමාණයක් ලබාගත්තේ වක්‍ර බදුවලින්.
විශේෂයෙන්ම ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්න තිබුණා. ඒ අය කිව්වේ සෘජු බදුවලින් ලබාගන්න බදු ප්‍රමාණය 20%කට වඩා වැඩි විය යුතු බවයි. නැත්නම් මෙය සාර්ථක නොවන බවත්, සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දුන්නා.
ඒ නිසා මෙම ක්‍රමවේදයට අනුවත් 2026 ඉලක්ක ළඟා කර ගැනීම සඳහාත් මෙම බදු අය කිරීම ලක්ෂ 02ක ආදායමක් ලබන අයගෙන් සීමා කළ හැකිද යන්න පිළිබඳව භාණ්ඩාගාරයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සාකච්ඡා කළා. එහෙත් ඒ අරමුණ ඉටුවුණේ නැහැ. අවසානයේ සිදුවුණේ ලක්ෂයකට වැඩි ආදායමක් ලබන පිරිසගෙනුත් ආදායම් බදු අය කිරීමයි. මේ පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.
මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළහොත් අපිට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නොහැකි විය හැකියි. අපි එකඟ වූ ඉලක්කය වන්නේ 2026 වන විට දළ දේශීය නිෂ්පාදනයේ 14.5%ක _ 15%ක ආදායමක් ලබාගැනීමයි. අපි මේ වැඩපිළිවෙළින් ඉවත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපිට ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබෙන්නේ නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලත් සහයෝගය ලබාදෙන අනෙකුත් රටවලත් සහාය අපිට හිමි වන්නේ නැහැ. එහෙම වුණොත් අපිට නැවත පෝලිම් යුගයට යන්න වෙනවා.
මීටත් වඩා අසීරු කාලයක් අපට ඉදිරියේදී අති විය හැකියි. මෙම ණය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අපි යා යුතුයි. අපි මේ කටයුතු කැමැත්තෙන් කරන්නේ නැහැ. අකැමැත්තෙන් හෝ අපිට සමහර තීරණ ගන්න සිදුවෙනවා. ඒ වගේම එම තීරණ පිළිබඳ අපි විටින් විට සලකා බලනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගන්නවා වගේම, මහ කන්නයේ අපිට හොඳ අස්වැන්නක් ලැබුණාම එයින් ආර්ථික වාසියක් ලබාගෙන ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. එමඟින් අපිට තිබෙන ආර්ථික පීඩාව අඩුවෙනවා. ඒ වගේම අපේ විදේශ විනිමය සංචිතය වැඩිකර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මෙම පියවර කිහිපය ක්‍රියාත්මක කළ විට අපිට ඉදිරියට යා හැකියි.
අද අපේ රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටිනවා. ඒ අසීරු කාලයේ අසීරු තීරණ ගන්න වෙනවා. වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක මම ඒ අසීරු කටයුත්ත භාරගත්තා. ඉතින් මම හිතුවා මේ පසුබිම ගැන සියලු දෙනා දැනුවත් කරන්න මට යුතුකමක් තිබෙනවා කියලා. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බවද සඳහන් කරන්න කැමැතියි.