ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද දින රැස් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉල්ලීමක් කර තිබුණි.
කෙසේ වෙතත්, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එම ඉල්ලීම පාර්ලිමේන්තු සභාවේදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එවැනි සාකච්ඡාවක් පැවැත්වීම සඳහා මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බව සභානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
දේශපාලන පක්ෂ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් පසුවන වටපිටාවක මෙම ඉල්ලීම සිදු කරන බවත්, මේ පිළිබඳව විපක්ෂයේ සෙසු දේශපාලන කණ්ඩායම් අතර ද සාකච්ඡා වී ඇති බවත් ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දුන්නේය.
මීට ප්‍රතිචාර දක්වමින් සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ මීළඟ රැස්වීම ලබන ජූනි මාසයේ මුල් සතියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
එමෙන්ම, රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය දින දෙකෙහිදීම සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවත්, වත්මන් ඩොලර් අර්බුදය විසඳීම සඳහා රජය මේ වන විටත් සක්‍රීයව මැදිහත් වෙමින් සිටින බවත් සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.







