පවතින ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව පිරවුම්හල් සහ අලෙවිසල් අසල පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.
න්ධන නිකුත් කිරීම සීමා වීම සහ ගෑස් සැපයුම අඩාල වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක උණුසුම් තත්ත්වයන් ද වාර්තා විය.
ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දවස පුරා පෝලිම් පැවති අතර, ජනතාවට ඉන්ධන ලබාගැනීම සඳහා පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදු විය.
දැනට ක්‍රියාත්මක QR කේත ක්‍රමය යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණු අතර, ඇතැම් පිරවුම්හල්වල තොග අවසන් වීම හේතුවෙන් ඒවා වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.
පිරවුම්හල් අසල සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යොදවා තිබූ අතර, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ඇතැම් පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදා භට පිරිස් ද අනුයුක්ත කර සිටිනු දක්නට ලැබිණි.
මේ අතර, ගෘහස්ථ ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් අලෙවිසල් ඉදිරිපිට ‘ගෑස් නැත’ යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර, ගෑස් සිලින්ඩර සුළු ප්‍රමාණයක් ලැබුණු අලෙවිසල් අසල ජනතාව රොක් වීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයන් ද හටගෙන තිබේ.
ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් සඳහන් කරන්නේ පවතින සැපයුම් ජාලයේ පමාවන් හේතුවෙන් මෙම ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළ ද පැවතිය හැකි බවයි.







