කොළඹ, මහනුවර සහ ගාල්ල ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක ලිට්රෝ සහ ලාෆ්ස් යන ගෑස් වර්ග දෙකෙහිම දැඩි හිඟයක් නිර්මාණය වී තිබේ.
පාරිභෝගිකයන් පවසන්නේ ඇතැම් ප්‍රදේශවල දින කිහිපයක සිට ගෑස් සැපයුම අඩාල වී ඇති බවයි. මේ හේතුවෙන් ගෑස් අලෙවි සැල් අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇති අයුරු දැකගත හැකිය.
දැනට වෙළඳපොළට ලැබෙන ගෑස් ප්‍රමාණය ඉතා අවම මට්ටමක පවතින බවටත්, ඇතැම් වෙළෙඳුන් පවතින හිඟයෙන් ප්‍රයෝජන ගනිමින් නියමිත මිලට වඩා වැඩි මිලට ගෑස් අලෙවි කරන බවටත් ජනතාව චෝදනා කරති.
කෙසේ වෙතත්, ගෑස් සමාගම් ප්‍රකාශ කරන්නේ වෙළඳපොළේ අවශ්‍යතාවයට සරිලන පරිදි ප්‍රමාණවත් තොග මේ වන විටත් නිකුත් කර ඇති බවයි.
වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට ගෑස් සැපයූ ඕමාන් රජයේ ගෑස් සමාගම (OQ Trading) පසුගිය දෙසැම්බර් මාසයේ සිට එම කටයුතුවලින් ඉවත් කෙරිණි. අනතුරුව ස්විට්සර්ලන්තය පදනම් කරගත් නව සමාගමකට (Geo Gas Trading) ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව පැවරීමට කැබිනට් අනුමැතිය හිමි විය.
එම අවස්ථාවේදී විවිධ පිරිස් පෙන්වා දුන්නේ, ගෑස් සැපයීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ජාත්‍යන්තර අත්දැකීම් හෝ ජාලයක් නොමැති සමාගමකට මෙම වගකීම පැවරීම හරහා පෙබරවාරි මාසය වන විට රට තුළ ගෑස් හිඟයක් ඇති විය හැකි බවයි.
එහෙත් රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් එවක ප්‍රකාශ කළේ නව සැපයුම්කරු යටතේ කිසිසේත්ම ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවයි.







