24
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අනැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් සටනේ ස්ථාන තීරණය වන තීරණාත්මක මූලික වටයේ අවසන් තරගයකදී නායක චරිත් අසලංකගේ හොඳම පළමු පෙළ ඉනිම හේතුවෙන් ගාලු පිලට එරෙහිව සාර්ථක පිළිතුරු ඉනිමක් ක්‍රීඩා කිරීමට කොළඹ කණ්ඩායම සමත්ව සිටී.
දඹුල්ලේ පැවැත්වෙන මේ තරගය ඊයේ තෙවැනි දිනයට නතර කරන විට කොළඹ පිල කඩුලු 6ක් දැවී ලකුණු 341ක් රැස් කර තිබුණේ ගාල්ල පළමු ඉනිමට රැස් කළ ලකුණු 435ට පිළිතුරු ලෙසිනි. ඒ අනුව කොළඹ පිල කඩුලු 4ක් අතැතිව තවත් ලකුණු 94ක් පසුපසින් සිටී.
කොළඹ පිල වෙනුවෙන් නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කරන නායක චරිත් අසලංක ලකුණු 142ක් රැස් කර සිටියේ සිය පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම ලෙසිනි. ඔහු ඊයේ වාර්තා කළේ තෙවැනි පළමු පෙළ ශතකයයි. පන්දු 193කදී හතරේ පහර 17කින් සහ හයේ පහර 2කින් ඉනිම සවිමත් කරගත් චරිත්ට අනගි සහායක් දුන් කවීන් බණ්ඩාර (40) 5 වැනි කඩුල්ලට ලකුණු 112ක් එක් කළේය. ඉන් පෙර ධනංජය ලක්ෂාන් (60) සහ අවිශ්ක ප්‍රනාන්දු (53) දෙවැනි කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම සවිමත් කළහ. පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ සහ නිසල තාරක කඩුලු 2 බැගින් දවා ගත්හ.
මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන යාපනයට එරෙහිව පල්ලෙකැලේ පැවැත්වෙන තරගයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින දඹුලු පිල අසීරු තත්ත්වයකට පත්ව තිබුණේ කඩුලු 4ක් පමණක් අතැතිව ලකුණු 154ක් පසුපසින් සිටීම හේතුවෙනි.
යාපනය පළමු ඉනිමට රැස් කළ ලකුණු 418ට පිළිතුරු ලෙස ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට දඹුලු පිල කඩුලු 6ක් දැවී රැස් කර ගෙන සිටියේ ලකුණු 264ක් පමණි. සම්මු අශාන් (71) සහ දිනුර කලුපහන (55) ඊයේ අර්ධ ශතක රැස් කළ අතර, ලකුණු 203කට කඩුලු 6ක් බිඳ වැටුණු ඉනිම ගොඩනැඟීමේ කාර්යයේ නිරතව සිටි විසාඩ් රන්දික නොදැවී ලකුණු 42ක් සහ චමිඳු විජේසිංහ නොදැවී 26ක් රැස් කරමින් කඩුල්ලේ රැඳී සිටියහ. පන්දු යැවීමේදී ඉසිත විජේසුන්දර සහ නිමේෂ් විමුක්ති කඩුලු 2 බැගින් දවා ගත්හ. අද මේ තරගවල අවසන් දිනයයි.
ගාල්ල – කොළඹ
ගාලු පළමු ඉනිම – 435 (ඕවර 136.2) දිනේෂ් චන්දිමාල් 132, නිසල තාරක 76, රමේෂ් මෙන්ඩිස් 72, දිලුම් සුදීර නොදැවී 66 (ධනංජය ලක්ෂාන් 99/5)
කොළඹ පළමු ඉනිම – 341/6 (ඕවර 96) චරිත් අසලංක නොදැවී 142, ධනංජය ලක්ෂාන් 60, අවිශ්ක ප්‍රනාන්දු 53 (දුනිත් වෙල්ලාලගේ 46/2, නිසල තාරක 69/2)
යාපනය – දඹුල්ල
යාපනය පළමු ඉනිම – 418 (ඕවර 107) රවිඳු රසාන්ත 120, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, ඇන්ජලෝ මැතිව්ස් 64 (දුලාජ් සමුදිත 88/3, අකිල ධනංජය 164/3)
දඹුලු පළමු ඉනිම – 264/6 (ඕවර 82) සම්මු අශාන් 71, දිනුර කලුපහන 55 (ඉසිත විජේසුන්දර 52/2, නිමේෂ් විමුක්ති 74/2)
නිරෝෂාන් ප්‍රියංකර