Home Sport News Room : ටෙස්ට් ක්‍රිකට් දැන් ‘බෝරිං’ නෑ – නායක ධනංජය

News Room : ටෙස්ට් ක්‍රිකට් දැන් ‘බෝරිං’ නෑ – නායක ධනංජය

0
0

පළමු ටෙස්ට් ජයග්‍රහණය වෙනුවෙන් නායක ධනංජය ද සිල්වාට ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා අතින් චෙක්පත පිළිගැන්වූ අයුරු.

වර්තමානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමට ප්‍රේක්ෂකයන් කැමැත්තක් දක්වන බවත්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කම්මැලි තරග රටාවක් නොවන බව දැන් බොහෝ අය අවබෝධ කොට ඇති බවත්, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවූ නවසීලන්තය සමඟ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

“ගාල්ලේ කාලයකට පස්සේ ටෙස්ට් තරගයක් දින 5ක් දක්වා ගියේ. දැන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව බලන්න කම්මැලි නෑ. ක්‍රීඩා පිටියේ නවත්වන හැම ලකුණක් වගේම රැස්කරන හැම ලකුණකටම තරගය අවසන් වෙද්දී වටිනාකමක් ලැබිලා තියෙනවා. මේ තරගයේදීත් ඒ වගේමයි. මේ නිසාම ටෙස්ට් තරග බලන්න ප්‍රේක්ෂකයන් තුළ උද්යෝගයක් ඇතිව තිබෙනවා“ ධනංජය ද සිල්වා පැවැසීය.

මේ තරගයේදී කණ්ඩායම් දෙකේම පිතිකරුවන් අතුරින් කමිඳු මෙන්ඩිස් ශතකයක් ලැබූ අතර, ශ්‍රී ලංකා පිතිකරුවෝ 4ක් හා නවසිලන්ත පිතිකරුවෝ 4ක් අර්ධ ශතක වාර්තා කළහ. එහෙත් නායක ධනංජය ශ්‍රී ලංකා පළමු ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණය හා පන්දු යැවීම පිළිබඳ එතරම් සතුටකින් යුතුව කතා කළේ නැත.

“දෙවැනි ඉනිමේ අපි හොඳින් බැට් කිරීම මේ තරගයේ හැරවුම් ලක්ෂය වුණා. ඒ ඉනිමේ දිමුත්, චන්දිමාල්, මැතිව්ස් ලකුණු අතරට පැමිණීම මේ තරගයේ අපට වැඩි වාසි ගන්න හේතුවක් වුණා. දෙවැනි ඉනිමේ හොඳින් පන්දුවට පහර දුන්නත් පළමු ඉනිමේ ඒක හොඳ තත්ත්වයක තිබුණේ නෑ. අපි හැම තිස්සෙම පළමු ඉනිමේදී හොඳ තත්ත්වයකින් පහර දුන්නොත් අපිට තරගයේ පාලනය අතට ගන්න පුලුවන්. කමිඳු හැර පිතිකරුවන් පළමු ඉනිමේදී අපට අවශ්‍ය විදිහට පන්දුවට පහර දුන්නෙත් නෑ. ඒ වගේම පන්දු යැව්වෙත් නෑ“

“ දිනේෂ් චන්දිමාල් අංක තුනට පැමිණීම හොඳ දෙයක් වුණා. ඒ දේ කළේ ඔහු සමඟ කතා කරලා ඔහුගේ කැමැත්ත අනුවයි. අපට අවශ්‍ය වුණා කමිඳු මෙන්ඩිස් ටිකක් ඉදිරියට ගන්න. මොකද ඔහුගෙන් ඉදිරියේදී දිගු ඉනිම් අපේක්ෂා කරන නිසා. පිතිකරණ අංශයෙන් ගත්තාම මුල් පිතිකරුවන් 7ම දැන් ඉන්න හොඳම අයයි. ඔවුන් අවශ්‍ය වේලාවට ලකුණු අතරට පැමිණීමට දක්ෂ අය. සනත් ජයසූරිය පුහුණුකරු ලෙස පත් වූ පසු විශාල වෙනස්කම් කරන්න අවශ්‍ය වුණේ නෑ. වැඩියෙන්ම සිදුවන්නේ ඔහුගේ අත්දැකීම් අප සමඟ හුවමාරු කර ගන්නා එකයි. එයා ක්‍රීඩකයන්ට ලබාදෙන උපදෙස් හොඳින් වටහාගත හැකියි. ඒකයි ශ්‍රී ලංකාවේ පුහුණුකරුවකුගෙන් අපට ලැබෙන විශාල වාසිය“ ධනංජය ද සිල්වා සඳහන් කළේය.

නවසීලන්තය සමඟ ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට මනා සැලසුමක් සකස්කොට ඇති බවත්, දෙවනි ටෙස්ට් ගැටුම ජයග්‍රහණය කිරීම අපේක්ෂාව බවත් හෙතෙම පැවැසීය. “ඒකට තව දවස් 2ක් තියෙනවා. අපි තරගයෙන් තරගයට සැලසුම් සකස් කරනවා. හැම තරගයකටම එන්නේ දිනන්නයි“ ධනංජය පැවැසීය.

ප්‍රින්ස් ගුණසේකර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here