Home Sport News Room : දසුන් සහ අසලංකගේ ශතක කොළඹට දැවැන්ත ජයක් ගෙනෙයි

News Room : දසුන් සහ අසලංකගේ ශතක කොළඹට දැවැන්ත ජයක් ගෙනෙයි

2
0

චරිත් අසලංක පිට පිට රැස් කළ දෙවැනි ශතකය සහ දසුන් ශානකගෙන් තුන් ඉරියව් දස්කම් හේතුවෙන් නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය ලෙස ඊයේ පැවති තරගයකින් මහනුවර පිලට එරෙහිව ලකුණු 164ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය.

හම්බන්තොට පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කොළඹ පිල දුන් ලකුණු 343ක ඉලක්කය හමුවේ මහනුවර පිලට ඕවර 38.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 178ක් පමණි.

මේ තරගයේ කොළඹ පිල වෙනුවෙන් නායක චරිත් අසලංක පිට පිට දෙවැනි ශතකය ලෙස නොදැවී ලකුණු 138ක් රැස් කළ අතර, දසුන් ශානක වේගවත් ලකුණු 103ක් රැස් කළේ පන්දු 90කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වූ අතර, අසලංක හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟ පන්දු 137කට මුහුණදී තිබිණි. දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 179කි. පන්දු යැවීමේදී නිපුන් රන්ෂික කඩුලු 3ක්, ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගත්හ.

කවින් බණ්ඩාර (57) මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, පන්දු යැවීමේදී දසුන් ශානක සහ විහස් තෙව්මික කඩුලු 3 බැගින් දවා ගත්හ.

මේ අතර පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් දඹුලු පිල පරදවා කඩුලු 8ක පහසු ජයක් හිමි කර ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුලු ඉනිම ලකුණු 67කට සීමා කිරීමට ගාලු පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනිණි. එය එන්එස්එල් එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද විය. මින් පෙරත් දඹුලු පිලට එම වාර්තාවට හිමිකම් කීවේ 2022 වසරේ පැවති පළමු තරගාවලියේදී යාපනය හමුවේ ලකුණු 79කට දැවී යෑමෙනි.

තරගාවලියේ සිව්වැනි දිනය යටතේ මේ ඉරිදා (08) යාපනය – ගාල්ල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, මහනුවර – දඹුල්ල හම්බන්තොටදීත් තරග වැදීමට නියමිතය.

ගාල්ලට කඩුලු 8ක ජයක්

දඹුල්ල – 67 (ඕවර 21.4) අංජල බණ්ඩාර 34 (දිනුක ඩිල්ෂාන් 12/4, ශිරාන් ප්‍රනාන්දු 10/3)

ගාල්ල – 67/2 (5.5) යශෝධ ලංකා 34 (ගයන වීරසිංහ 9/2)

කොළඹට ලකුණු 164ක ජයක්

කොළඹ – 342/8 (ඕවර 50) චරිත් අසලංක නොදැවී 138, දසුන් ශානක 103 (නිපුන් රන්ෂික 29/3, ලසිත් ඇඹුල්දෙණිය 49/2, චාමික කරුණාරත්න 78/2)

මහනුවර – 178 (ඕවර 38.5) කවින් බණ්ඩාර 57, සිතාර ගිම්හාන් 37 (දසුන් ශානක 22/3, විහස් තෙව්මික 27/3, දිලුම් සුදීර 19/2)

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here