Home Sport News Room : ජූඩෝ සංගමයට එරෙහිව චෝදනා වැලක්

News Room : ජූඩෝ සංගමයට එරෙහිව චෝදනා වැලක්

1
0

සිදුවෙමින් පවතින දූෂණ හේතුවෙන් මෙරට ජූඩෝ ක්‍රීඩාව පිරිහීමට ලක්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාව සුරැකීමේ එකමුතුව නම් සංවිධානයක් ගම්පොළදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය. එහි කැඳවුම්කාර ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ හිටපු පුහුණු සභාපති, ජාතික විනිසුරු හා පුහුණුකරු ඩබ්ලිව්. තුසිත ප්‍රනාන්දු මහතා පවසන්නේ ජාත්‍යන්තර ජූඩෝ සංගමයෙන් ශ්‍රී ලංකා ජූඩෝ සංගමයට රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් ලැබි ඇතත්, එම මුදල කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ජූඩෝ මූලස්ථාන ගොඩනැඟිල්ලක් සෑදීමට යොදවා ඇති බවත්ය.

“අපේ ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයක් දුප්පත් අය. හොඳ ඇඳුමක් රුපියල් හතළිස්දාහයි. පනස්දායි. හැටදාහයි. ඉතින් ඒ අයට ජූඩෝ ක්‍රීඩා ඇඳුම් ගන්න බෑ. ජාත්‍යන්තර ජූඩෝ සංගමය මඟින් අවස්ථා දෙකකදී අපට ඇඳුම් කට්ටල ලබා දුන්නා. මුලින්ම ඇඳුම් කට්ටල 150ක් ලබා දුන්නා. හිටපු නිලධාරීන් ඒ ඇඳුම් කොටසක් ළමයින්ට විකුණලා සල්ලි ගත්තා. ඒ සල්ලිවලට වුණ දෙයක් නෑ. ඒ වගේම ඉතිරි ඇඳුම්වලට වෙච්ච දේකුත් නෑ. ඒ වගේම මේ පිළිබඳ නිසි පරීක්ෂණකුත් නෑ. යළිත් ජූඩෝ සංගමයට ඇඳුම් කට්ටල 450ක් ලැබිලා තියෙනවා. මේ පාරත් ඇඳුම් ටික ළමයින්ට විකුණන්න හදනවා” හිටපු සභාපතිවරයා පැවසීය.

ඔස්ට්‍රියා ජූඩෝ සංචාරයකට සංගමයේ උප භාණ්ඩාගාරිකතුමියගේ සැමියකු යැවීමට සූදානම්වන බවද හෙතෙම හෙළි කළේය. එමෙන්ම ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ වැදගත් තනතුරු කිහිපයක්ම විධිමත් ක්‍රියා පටිපාටියකින් තොරව පත් කිරීමේ සැලසුමක් ඇතැයිද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ චෝදනා සම්බන්ධයෙන් ජූඩෝ සංගම් සභාපති මංජුල වීරසිංහ මහතාගෙන් විමසූ අතර, ඔහු සඳහන් කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. එසේම මේ පරිත්‍යාග ලෙස ලැබුණු ජූඩෝ ඇඳුම් සඳහා රේගුවට මුදලක් ගෙවීමට සිදුවන හෙයින් එය පියවා ගැනීමට මේ ඇඳුම් විකිණීමට තීරණය කළ බව ද ප්‍රනාන්දු මහතා පැවසීය.

ගම්පොළ සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here