Home Sport News Room : ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී අයෝමාල් අවසන් පූර්ව වටයට

News Room : ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී අයෝමාල් අවසන් පූර්ව වටයට

2
0

පේරු රාජ්‍යයේදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා (අවුරුදු 20න් පහළ) ශූරතාවලියේදී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට අයෝමාල් අකලංක සමත් විය.

මූලික වටයේ දෙවැනි තරගයට එක් වූ ඔහු තත්පර 52.04කින් තරගය නිමා කරමින් සිව්වැනි ස්ථානයට පත්වූ අතර, තරග 7කින් සමන්විත මූලික වටය අවසානයේ ක්‍රීඩකයන් 24 දෙනකු අතරින් ඔහු හොඳම 12 වැනි කාලය වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්විය. අවසන් පූර්ව තරගය අද (30) පස්වරුවේ පැවැත්වෙන අතර, එය මෙරට වේලාව අනුව පැවැත්වෙන්නේ හෙට (31) අලුයම 2.35ටය. එම වටයේ තරග 3ක් පැවැත්වෙන අතර අයෝමාල් එහි පළමු තරගයට එක් වෙයි.

මේ අතර මෙරට වේලාවෙන් ඊයේ අලුයම මීටර් 400 අවසන් පූර්ව වටයේ තරගයට එක් වූ ජත්‍යා කිරුළුට අවසන් තරග වරම් අහිමි වී ගියේය.

ඔහු අවසන් පූර්ව වටයේ තෙවැනි තරගයේදී තත්පර 47.85කින් තරගය නිම කරමින් සිව්වැනි ස්ථානයට පත් වීම හේතුවෙන් ඔහුට අවසන් තරග වරම් අහිමි වී ගියේය.

මේ අතර තරගාවලියේ දෙවැනි දිනයේ පිරිමි උස පැනීමේ ඉසව්වට එක් වූ තරුෂ මෙන්ඩිස් සහ ලෙසඳු අර්තවිදුට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ අතර, මූලික වටයේදී මේ දෙදෙනාම මීටර් 2.05 උසක් වාර්තා කළහ.

මීටර් 400 කාන්තා මූලික වටයේ තරගයට එක්වූ ජිත්මා විජේතුංග තත්පර 56.16ක කාලයක් වාර්තා කළ අතර, මධුෂානි හේරත් කාන්තා තුන්පිම්ම ඉසව්වේදී මීටර් 12.23ක දක්ෂතාවක් දක්වමින් ‘ඒ’ කාණ්ඩයේ 14 වැනියා වූවාය.

ඊයේ රාත්‍රියේ පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ මූලික වටයේදී සඳුන් කෝසල සිය හොඳම දක්ෂතාම ලෙස තත්තපර 14.04ක කාලයක් වාර්තා කිරීමට සමත් වුවත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.

මලිත් කවුෂාන් තමෙල් සහ ඉදුසර විදුෂාන් (මීටර් 200) ඊයේ රාත්‍රියේ මූලික වටයේ තරගවලට එක්වීමට නියමිතව සිටි අතර, එහි අවසන් පූර්ව තරග අද අලුයම පැවැත්වීමට නියමිතව තිබිණි. අද රාත්‍රියේ පිරිමි මීටර් 100 සහාය ඉසව්ව පැවැත්වෙන අතර ඊට ශ්‍රී ලංකා කණ්ඩායමක් එක් වෙයි.

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here