11
එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් කාසියේ වාසිය තම වාසියට හරවා ගනිමින් පළමු දිනයේ වැඩි ගෞරව අත්කර ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූහ. කෙසේ වෙතත් සටන්කාමී ක්‍රීඩාවක නිරත වූ ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායක අර්ධ ශතක රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236 දක්වා ඉදිරියට ඔසවා තැබීමට සමත් වූහ.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත පිල ඕවර 4කදී කිසිවකු නොදැවී ලකුණු 22ක් රැස් කර තිබිණි. ඒ අනුව කඩුලු 10ම අතැතිව සිටින ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 214ක් පසුපසින් සිටිති.
ඊයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි නිශාන් මධුෂ්ක (4) සහ දිමුත් කරුණාරත්න (2) සමඟ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් (0) ලකුණු 6ක් තුළ යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමිනි.
මුල් ඕවර 7දී පළමු කඩුලු 3 අහිමි වූ ශ්‍රී ලංකා පිලට ලකුණු 34ක් එක් වෙද්දී කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 24කින් නතර වූයේ සිව්වැනි කඩුල්ල අහිමි කරමිනි. අනතුරුව අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක ධනංජය ද සිල්වා ඉනිම ගොඩනැඟීමට උත්සාහ කළ අතර පිතිකරුවන් ලෙස නම් දැරූවන් අතර ඉතිරිව සිටි දිනේෂ් චන්දිමාල්ට සහ කමිඳු මෙන්ඩිස්ට ඔහුට සහාය විය හැකි වුයේ ඉනිම ලකුණු 92 දක්වා ඉදිරියට ඇදගෙන යෑමට පමණි.
පළමු දින දිවා විවේකයට පෙර ලකුණු 17ක් රැස් කළ චන්දිමාල් ද දැවී ගිය පිතිකරුවන් අතරට එක් වෙද්දී කමිඳු මෙන්ඩිස්ට රැස් කළ හැකි වූයේ ලකුණු 12ක් පමණි.
මුළු ලකුණු 113කදී 7 වැනි කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය (10) දැවී ගිය අතර, අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එකා පිට එකා දැවී යද්දී ඊයේ ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගත් 28 හැවිරිදි මිලාන් රත්නායක නායකයාට අනගි සහායක් දෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟීය. 8 වැනි කඩුල්ලට ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 63ක සබඳතාවක් ගොඩනැඟීමෙන් අනතුරුව මිලාන් 9 වැනි කඩුල්ලට විශ්ව ප්‍රනාන්දු සමඟ එක්ව තවත් ලකුණු 50ක සබඳතාවක් ගොඩනැඟුවේය. ඊයේ සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ධනංජයගේ ඉනිම ලකුණු 74කින් නතර වන විට මුළු ලකුණු සංඛ්‍යාව 176ක් විය. පන්දු 84කට මුහුණ දුන් ධනංජය හතරේ පහර 8ක් එල්ල කර තිබිණි.
ඊයේ සිය මංගල ටෙස්ට් තරගයේදීම මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ මිලාන් දැවී යන විට පන්දු 135කින් ලකුණු 72ක් රැස් කර තිබුණේ හතරේ පහර 6ක් සහ හතරේ පහර 2ක් සමඟිනි. වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි මිලාන්ගේ ඉනිම ලෝක වාර්තා අතරට එක් වූයේ මංගල ටෙස්ට් තරගයේදී අංක 9 ස්ථානයෙන් පිටියට පිවිසි පිතිකරුවකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. මින් පෙර ඉන්දියාවේ බල්වින්දර් සන්ධු පාකිස්තානයට එරෙහිව රැස් කළ ලකුණු 71ක අංක 9 ලෙස පිටියට පිවිසි පිතිකරුවකු මංගල ඉනිමේදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ ෂොයිබ් බෂීර් කඩුලු 3ක් බැගින් බිඳ දැමූ අතර, ගස් අට්කින්සන් කඩුලු 2 බැගින් දවා ගත්තේය.
වේග පන්දු යවන 28 හැවිරිදි මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හිස්වැස්ම පැලඳි 166 වැනි ක්‍රීඩකයා බවට ඊයේ පත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු සහ එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ හිටපු සභාපතිවරයා වන කුමාර් සංගක්කාර මහතා අතින් මිලාන්ට ටෙස්ට් හිස්වැස්ම හිමි විය.
මේ තරගයේදී දෙපිලේම ක්‍රීඩකයන් කළුපටි පැලඳ පිටියට පිවිසි අතර, ඒ එංගලන්ත පිලේ හිටපු පිතිකරුවකු වන ග්‍රැහැම් තෝප්ගේ අභාවය හේතුවෙනි.
අද තරගයේ දෙවැනි දිනයයි.









