Home Sport News Room : එංගලන්තය ගනී නායක ධනංජයගෙන් හුදෙකලා සටනක්

News Room : එංගලන්තය ගනී නායක ධනංජයගෙන් හුදෙකලා සටනක්

0
0

එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් කාසියේ වාසිය තම වාසියට හරවාගත් එංගලන්ත පන්දු යවන්නෝ තරගයේ පළමු දිනයේ සවස තේ පානය වන විට වැඩි ගෞරව අත්කර ගැනීමට සමත් වූහ.

ඒ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල ලකුණු 178කට කඩුලු 8ක් අහිමිවී අසිරු තත්ත්වයක පසුවිය.

මිලාන් රත්නායක නොදැවී ලකුණු 32ක් රැස් කර සිටි අතර, විශ්ව ප්‍රනාන්දු ලකුණු රැස් කිරීම ආරම්භ කර නොතිබිණි.

ඊයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි නිශාන් මධුෂ්ක (4) සහ දිමුත් කරුණාරත්න (2) සමඟ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් (0) ලකුණු 6ක් තුළ යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමිනි.

මුල් ඕවර 7දී පළමු කඩුලු 3 අහිමි වූ ශ්‍රී ලංකා පිලට ලකුණු 34ක් එක් වෙද්දී කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 24කින් නතර වූයේ සිව්වැනි කඩුල්ල අහිමි කරමිනි. අනතුරුව අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක ධනංජය ද සිල්වා ඉනිම ගොඩනැඟීමට උත්සාහ කළ අතර පිතිකරුවන් ලෙස නම් දැරූවන් අතර ඉතිරිව සිටි දිනේෂ් චන්දිමාල්ට සහ කමිඳු මෙන්ඩිස්ට ඔහුට සහාය විය හැකි වුයේ ඉනිම ලකුණු 92 දක්වා ඉදිරියට ඇදගෙන යෑමට පමණි.

පළමු දින දිවා විවේකයට පෙර ලකුණු 17ක් රැස් කළ චන්දිමාල් ද දැවී ගිය පිතිකරුවන් අතරට එක් වෙද්දී කමිඳු මෙන්ඩිස්ට රැස් කළ හැකි වූයේ ලකුණු 12ක් පමණි.

මුළු ලකුණු 113කදී 7 වැනි කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය (10) දැවී ගිය අතර, අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එක පිට දැවී යන විට ඊයේ ජාත්‍යන්තර තරග වරම් හිමිකරගත් 28 හැවිරිදි මිලාන් රත්නායක නායකයාට අනගි සහායක් දෙමින් 8 වැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් ගොඩනැඟීය. ඊයේ සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ධනංජයගේ ඉනිම ලකුණු 74කින් නතර වන විට මුළු ලකුණු සංඛ්‍යාව 176ක් විය. පන්දු 84කට මුහුණ දුන් ධනංජය හතරේ පහර 8ක් එල්ල කර තිබිණි. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ෂොයිබ් බෂීර් සහ ගස් අට්කින්සන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

වේග පන්දු යවන මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හිස්වැස්ම පැලඳි 166 වැනි ක්‍රීඩකයා බවට ඊයේ පත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු සහ එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ හිටපු සභාපතිවරයා වන කුමාර් සංගක්කාර මහතා අතින් මිලාන්ට ටෙස්ට් හිස්වැස්ම හිමි විය.

මේ තරගයේදී දෙපිලේම ක්‍රීඩකයන් කළුපටි පැලඳ පිටියට පිවිසි අතර, ඒ එංගලන්ත පිලේ හිටපු පිතිකරුවකු වන ග්‍රැහැම් තෝප්ගේ අභාවය හේතුවෙනි.

අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම

නිශාන් මධුෂ්ක ඇ.රූට් ප.වෝක්ස් 4

දිමුත් කරුණාරත්න ඇ.ස්මිත් ප.ඇට්කින්සන් 2

කුසල් මෙන්ඩිස් ඇ.බෘෘක් ප.වුඩ් 24

ඇන්ජලෝ මැතිව්ස් ක.මු.ක. ප.වෝක්ස් 0

දිනේෂ් චන්දිමාල් ක.මු.ක. ප.බෂීර් 17

ධනංජය ද සිල්වා ඇ.ලෝරන්ස් ප.බෂීර් 74

කමිඳු මෙන්ඩිස් ඇ.ස්මිත් ප.වෝක්ස් 12

ප්‍රභාත් ජයසූරිය ඇ.ස්මිත් ප.ඇට්කින්සන් 10

මිලාන් රත්නායක නොදැවී 32

විශ්ව ප්‍රනාන්දු නොදැවී 0

අතිරේක 3

එකතුව කඩුලු 8ක් දැවී (ඕවර 52) 178

(සවස තේ පානය වන විට)

කඩුලු බිඳ වැටීම: 1-6, 2-6, 3-6, 4-40, 5-72, 6-92, 7-113, 8-176

පන්දු යැවීම: වෝක්ස් 11-3-32-3, ඇට්කින්සන් 12-2-36-2, පොට්ස් 9-0-48-0, වුඩ් 8-0-31-1,

බෂීර් 12-3-31-2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here