Home Sport News Room : බොතම් සහ එංගලන්තය හීලෑ කර වසර 40යි

News Room : බොතම් සහ එංගලන්තය හීලෑ කර වසර 40යි

2
0

ශ්‍රී ලංකා පිල 1984 දී එංගලන්තයට ගියේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රේණිගත නොකළ නවක කණ්ඩායමක් ලෙසිනි. අගෝස්තු 23 වැනිදා ලෝඩ්ස් පිටියේ ආරම්භ වූ එකම තරගයේදී ප්‍රබල වේග පන්දු යැවූ ඉයන් බොතම් සහ එංගලන්තය හීලෑකර වසර 40ක් ගෙවී යමින් පවතී. ටෙස්ට් වරම් ලබා පළමු ටෙස්ට් තරග 11න් 8ක් පරාජයවී සිටි ශ්‍රී ලංකා පිල ලෙහෙසියෙන් පහළට ඇද දැමීමට සිතූ එංගලන්තයට දැවැන්ත පිළිතුරක් දීමට එම තරගයේදී දුලිප් මෙන්ඩිස් ප්‍රමුඛ පිරිවර සමත්වීමෙන් කාගේත් අවධානය ශ්‍රී ලංකාව පැත්තට යොමු විය.

ආසියාවෙන් පිටත සහභාගීවූ පළමු සංචාරයේදී නවසීලන්ත පිලෙන් 2-0ක දරුණු පරාජයක් ශ්‍රී ලංකා පිල ලබා සිටි නිසා එංගලන්ත ක්‍රීඩකයෝ සැහැල්ලුවට ගෙන තිබිණි. එහෙත් ශ්‍රී ලංකාව උද්යෝගිමත් විය. “ලෝඩ්ස් ගැන අපි හැමෝටම හීනයක් තිබුණා. ඒ හීනය සැබෑ වුණා” තරගයේ වීරයා සම්මානය දිනාගත් සිදත් වෙත්තිමුණි තරගයෙන් අනතුරුව පැවසීය.

කාසියේ වාසිය දිනූ ඩේවිඩ් ගවර් මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේ අඩු ලකුණු ගණනකට දවා ගැනීමට වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7කට ලකුණු 491ක් රැස් කළහ. සිදත් වෙත්තිමුණි පැය 10කුත් මිනිත්තු 7ක් තණතිල්ලේ රැදී සිට පන්දු 471කදී හතරේ පහර 21ක් සමඟ ලකුණු 190ක් රැස්කළ අතර, අර්ජුන රණතුංග පැය 4කුත් මිනිත්තු 13ක් කඩුල්ලේ සිට පන්දු 183කදී හතරේ 8ක් සමඟ ලකුණු 84ක් එක් කළේය. නායක දුලිප් මෙන්ඩිස් හයේ 3ක් හා හතරේ 11ක් සමඟ පන්දු 143කදී ලකුණු 111ක් ලබාගත් අතර, රෝයි ඩයස් ලකුණු 32ක් හා සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වා ලකුණු 16ක් ලබා ගත්තේය. පසුපෙළ ශක්තිමත් කරමින් අසන්තා ද මෙල් නොදැවී ලකුණු 20ක් ලබා ගැනීම ද සැලකිය යුතු දක්ෂතාවකි. මෙහිදී වැඩිම ප්‍රහාර එල්ල වූයේ වේග පන්දු යැවූ ජොනතන් ඇග්නව්ට හා ඉයන් බොතම්ටය. ඉයන් බොතම්ගේ ‘ෂෝට් බෝල්‘ තුනකට දැවැන්ත පහර එල්ල කළ දුලිප් මෙන්ඩිස් ක්‍රීඩාගාරය දෙසින් පන්දු අතුරුදන් කළේය. ඉන් පසු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ “අපිට බොතම් ඕනෑ” යැයි කෑ ගැසූහ.

එංගලන්තය පළමු ඉනිමේදී ලකුණු 370කට දැවී ගිය අතර, අසන්ත, විනෝදන් ජෝන් කඩුලු 4 බැගින් හා ඩී. එස් ද සිල්වා කඩුලු 2ක් බිඳහෙලා ගත්හ. ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමේදීද ස්ථාවර විය. කඩුලු 7කට ලකුණු 294ක් ලබා ගනිද්දී ආරම්භක පිතිකරු අමල් සිල්වා පැය පහමාරක කාලයක් තණතිල්ලේ සිට පන්දු 255කදී හතරේ පහර 12ක් සමඟ නොදැවී ලකුණු 102ක් ලබා සිටියේය. දුලිප් මෙන්ඩිස් පන්දු 97කදී හයේ 3ක් හා හතරේ 9ක් සමඟ ලකුණු 94ක් හා රෝයි ඩයස් පන්දු 79කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 38ක් රැස් කළහ. ඉයන් බොතම් ලකුණු 90කට කඩුලු 6ක් දවා ගත්තද සෑහීමකට පත් නොවුණි. ඔහුට අවශ්‍ය වූයේ ටෙස්ට් පිටියේ කෝඩුකාර ශ්‍රී ලංකා පිල විනාශ කිරීමටය. ජය පරාජයෙන් තොරව නිමාවූ මේ තරගයේ ඉනිම දෙකේදීම ශතක දෙකක් ලබා ගැනීමේ වාර්තාව දුලිප් මෙන්ඩිස්ට අනූ නමයෙන් ගිලිහී ගියේය. ක්‍රිකට් පිටියේ රන් දෙවොල නම්වූ ලෝඩ්ස් පිටියේ ඒ වනවිට එවැනි දස්කමක් දක්වා තිබුණේ කොදෙව් ක්‍රීඩක ජෝර්ජ් හෙඩ්ලි පමණි.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here