Home Sport News Room : අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තා පිල එක්දින තරගාවලිය පරදී

News Room : අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තා පිල එක්දින තරගාවලිය පරදී

2
0

හර්ෂිතා මාධවි සමරවික්‍රමගේ මංගල එක්දින ශතකය අපගේ යවමින් අයර්ලන්ත කාන්තා පිලට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගය ලකුණු 15කින් පරාජය වීමට ශ්‍රී ලංකා කාන්තා පිලට ඊයේ සිදු විය. මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය වේලාසනින්ම 2-0ක් ලෙස ජය ගැනීමට අයර්ලන්තය සමත් වීම කැපී පෙනුණු අතර, දෙරට අතර පළමු ද්වීපාර්ශ්වික කාන්තා එක්දින තරගාවලිය මෙය වීම විශේෂත්වයකි.

බෙල්ෆාස්ට්හිදී ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත පිල කඩුලු 5ක ලකුණු 255ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලට ඕවර 48කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 240ක් පමණි.

අයර්ලන්තය සිම්බාබ්වේ කණ්ඩායම හැර ටෙස්ට් වරම් ලැබූ ප්‍රධාන පෙළේ රටකට එරෙහිව තරග 2ක් හෝ ඊට වැඩි එක්දින තරගාවලියක් ජය ගත්තේ වසර 24කට පසුවය. ඔවුන් මින් පෙර 2000 වසරේදී පාකිස්තානයට එරෙහිව එක්දින තරගාවලියක් 4-0ක් (5) ලෙස ජය ගෙන තිබිණි. 2012දී බංග්ලාදේශය පරාජය කළත් එහිදී පැවතියේ එක් තරගයක් පමණි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ ලකුණු 46 වෙද්දී ආරම්භක පිතිකාරිනියන් දෙදෙනාම යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට අයර්ලන්ත පන්දු යවන්නියන් සමත් වූහ. දෙපිල අතර පළමු එක්දින තරගයේදී සිය මංගල ශතකය රැස් කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශතකයක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වූ විශ්මි ගුණරත්නට (අවුරුදු 18යි දින 360ක්) ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 2ක් පමණි.

නායිකා චමරි අතපත්තු ලකුණු 22කට දැවී ගිය අතර, තෙවැනි කඩුල්ලට හර්ෂිතා සමරවික්‍රම සමඟ එක්වූ කවිෂා දිල්හාරි ලකුණු 126ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූහ. සිය හොඳම ඉනිම ලෙස දෙවැනි එක්දින අර්ධ ශතකය රැස් කළ කවිෂා ලකුණු 53කට දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, හර්ෂිතා 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ සිය මංගල එක්දින ශතකය (105) රැස් කිරීමෙන් අනතුරුවය. පන්දු 124කදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 105ක් රැස් කළ හර්ෂිතා වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ තෙවැනි ක්‍රීඩිකාව ලෙසිනි. මින් පෙර පැවති පළමු තරගයේදී ශතකයක් වාර්තා කරමින් විශ්මි ගුණරත්න දෙවැනි ක්‍රීඩිකාව බවට පත්වූ අතර, එහි පළමු තැන පසුවන නායිකා චමරි අතපත්තු එක්දිනක ශතක 9ක් රැස් කර තිබේ. එමෙන්ම ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකාව‍ ෙවනු‍ෙවන් ශතකයක් වාර්තා කළ සිව්වැනි ක්‍රීඩිකාව බවට ද හර්ෂිතා පත්වූ අතර, චමිනි සෙනෙවිරත්න 1999 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කර තිබේ.

හර්ෂිතා දැවී යෑමත් සමඟ ශ්‍රී ලංක පිලේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ගිලිහී ගියේ ඇය සමඟ තවත් කඩුලු 4ක් ලකුණු 4ක් තුළ බිඳ වැටීම හේතුවෙනි. මුළු ලකුණු 214දී අවසන් කඩුල්ලට උදේශිකා ප්‍රබෝධනි සමඟ එක්ව නිලක්ෂි ද සිල්වා ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කළ ද මුළු ලකුණු 240දී උදේශිකා (2) දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම නිමා වූයේ අයර්ලන්තයට ලකුණු 15කින් ඉතිහාසගත ජය අත්කර දෙමිනි. පන්දු යැවීමේදී ආර්ලින් කෙලී කඩුලු 3ක් සහ ජේන් මැගියර් කඩුලු 2ක් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ඉනිමේදී 5 වැනි කඩුල්ලට ලෙයා පෝල් සහ රෙබෙකා ස්ටොකල් පන්දු 112කින් ගොඩනැඟූ ලකුණු 114ක සබඳතාව ඉනිම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

පන්දු 101කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 81ක් රැස් කළ ලෙයා දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර සිය හොඳම ඉනිම ක්‍රීඩා කරමින් මංගල එක්දින අර්ධ ශතකය රැස් කළ රෙබෙකා නොදැවී ලකුණු 53ක් රැස් කළේ පන්දු 61කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟිනි. අංක 3 පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි ඇමී හන්ටර් ද අර්ධ ශතකය රැස් කළාය. ඊයේ එක්දින තරග වරම් ලැබූ ක්‍රිස්ටිනා කෝල්ටර් රීලි සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 45ක් එක් කිරීමට ඇමී සමත් වූ අතර, අචිනිගේ දෙවැනි කඩුල්ල ලෙස ක්‍රිස්ටිනා දැවී ගියේ ලකුණු 24ක් රැස් කර සිටියදීය. පළමු තරගයේදී අගනා ශතකයක් රැස් කරමින් අයර්ලන්තය ඉතිහාසගත ජයග්‍රහණයක් කරා ගෙන ගිය ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට්ට ඊයේ රැස් කළ හැති වූයේ ලකුණු 9ක් පමණි. ඇය තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, ඇමී මුළු ලකුණු 134දී සිව්වැනි කඩුල්ල ලෙස දැවී යන විට හතරේ පහර 8ක් සමඟ පන්දු 71කින් ලකුණු 66ක් රැස් කළාය. පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි සහ අචිනි කුලසූරිය කඩුලු 2 බැගින් දවාගත් අතර, චමරි අතපත්තු කඩුල්ලක් දවා ගත්තාය.

දෙපිල අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (20) බෙල්ෆාස්ට්හිදීම පැවැත්වේ.

අයර්ලන්ත කාන්තා පිල – 255/5 (ඕවර 50) ලෙයා පෝල් 81, ඇමී හන්ටර් 66, රෙබෙකා ස්ටොකල් නොදැවී 53, ක්‍රිස්ටිනා කෝල්ටර් රීලි 24 (කවිෂා දිල්හාරි 35/2, අචිනි කුලසූරිය 48/2, චමරි අතපත්තු 55/1)

ශ්‍රී ලංකා කාන්තා පිල – 240 (ඕවර 48) හර්ෂිතා සමරවික්‍රම 105, කවිෂා දිල්හාරි 53, නිලක්ෂි ද සිල්වා නොදැවී 24, චමරි අතපත්තු 22, හසිනි පෙරේරා 14 (ආර්ලින් කෙලී 41/3, ජේන් මැගියර් 33/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here