Home Sport News Room : එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ ලකුණු 185කින් වාසිය ගනිති

News Room : එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ ලකුණු 185කින් වාසිය ගනිති

0
0

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ වෝස්ට්ෂයර්හිදී පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ පළමු ඉනිමේදී ලකුණු 185කින් පෙරමුණ ගැනීමට සත්කාරක එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ලයන්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 139කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලයන්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 324ක් රැස් කළහ. ලයන්ස් ඉනිම නිමා වීමත් සමඟ ඊයේ සවස තේ පානය සඳහා තරගය නතර කළ අතර, පිටියට වර්ෂාව පතිත වීම හේතුවෙන් යළි තරගය ආරම්භ කිරීමට නොහැකි වීමෙන් දෙවැනි දිනයට තරගය නතර කෙරිණි.

පෙරේදා පළමු දිනය නිම වන විට කඩුලු 4ක් දැවී ලකුණු 145ක් රැස් කර සිටි ලයන්ස් පිලේ තවත් කඩුලු 2ක් ලකුණු 190ක් වෙද්දී බිඳ වැටුණු අතර, අනතුරුව හම්ෂා ෂෙයික් සමඟ එක්වූ කේසි ඕල්ඩ්‍රිජ් ලකුණු 104 සබඳතාව පිහිටුවීමට සමත් වූහ. පන්දු 204කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 91ක් රැස් කළ හම්සා දැවී යෑමෙන් එම සබඳතාව නිමා වු අතර, ප්‍රභාත් ජයසූරියට 5 වැනි කඩුල්ල හිමිකර දෙමින් කේසි දැවී යෑමත් සමඟ ලයන්ස් ඉනිම නිමා විය. ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 96කින් ලකුණු 78ක් රැස් කළේය. ලයන්ස් ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 34ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ලයන්ස් ආරම්භක පිතිකරුවන් වූ බෙන් මැකින්නි ලකුණු 46කටත් යේට්ස් රොබ් ලකුණු 25කටත් දැවී ගිය අතර, ඔලිවර් ප්‍රයිස් (22) සහ ජෙම්ස් රෙව් (22) පළමු දිනයේ දැවී ගිය පිතිකරුවන්් අතරට එක් වූහ.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේදී දිමුත් කරුණාරත්න වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 26ක් රැස් කරමිනි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 20ක් සහ මිලාන් රත්නායක ලකුණු 17ක් රැස් කරද්දී පිතිකරුවන් ලෙස එක් වූ නිශාන් මධුෂ්ක (11), කුසල් මෙන්ඩිස් (12), ඇන්ජලෝ මැතිව්ස් (11), දිනේෂ් චන්දිමාල් (12), ධනංජය ද සිල්වා (2) සහ සදීර සමරවික්‍රම (8) අඩු ලකුණු ගණනකට දැවී ගියහ.

පන්දු යැවීමේදී සමන් අක්තර් ලකුණු 32කට කඩුලු 5ක් බිඳ දැමු අතර, ජොෂ් හල් කඩුලු 3ක් දවා ගත්තේය.

අද තරගයේ තෙවැනි දිනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here