ඇමරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ පවතින යුද ගැටුම් තෙවන සතියටත් පා තබා ඇති පසුබිමක, ලෝකයේ අන්තර්ජාල සබඳතාවලට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇති අතර, එම මුහුදු පත්ලේ ඇති සන්නිවේදන කේබල් පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල වීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
ඩිජිටල් නහර පද්ධතියට එල්ල වන තර්ජනය ලෝකයේ අන්තර්ජාල දත්ත හුවමාරුවෙන් වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලබන මුහුදු යට ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධති හෝමුස් සහ රතු මුහුදේ බැබ් එල්-මැන්ඩෙබ් වැනි පටු මුහුදු තීරයන් හරහා ගමන් කරයි.
මෙම කේබල් මගින් වීඩියෝ ඇමතුම්, ඊමේල්, බැංකු ප්‍රේෂණ සහ කෘත්‍රිම බුද්ධි (AI) සේවා සඳහා අවශ්‍ය දත්ත සපයනු ලබයි.
දැනට පවතින තත්ත්වය අනුව ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේ මුහුදු බෝම්බ (sea mines) අතුරා ඇති අතර, මේ හේතුවෙන් එම ප්‍රදේශය හරහා නෞකා ගමනාගමනය අඩාල වී ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැඹුර අඩි 200ක් පමණ වන බැවින් එහි ඇති කේබල් පද්ධතිවලට හානි කිරීම පහසු බව ද වාර්තා වේ.
ඉන්දියාව ඇතුළු රටවල් රැසකට බලපෑම් පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින AAE-1, FALCON, Gulf Bridge International සහ Tata-TGN Gulf වැනි ප්‍රධාන කේබල් පද්ධති ඉන්දියාවේ විදේශීය දත්ත සබඳතාවලට සෘජුවම දායක වේ.
මෙම කේබල් කැපීමකට ලක් වුවහොත් ඉන්දියාවේ අන්තර්ජාල වේගය සැලකිය යුතු ලෙස අඩු විය හැකි අතර බැංකු පද්ධති, කොටස් වෙළඳපල සහ රෝහල් පද්ධතිවල ක්‍රියාකාරිත්වයට ද දැඩි බලපෑම් එල්ල වනු ඇත.
පිළිසකර කිරීමේ අසීරුතාව කේබල් විශ්ලේෂකයන් පවසන පරිදි, දැනට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් හානි වන කේබල් අලුත්වැඩියා කිරීම සඳහා විශේෂිත නෞකාවලට එම ප්‍රදේශවලට ඇතුළු වීම අතිශය අවදානම් සහගතය.
එක් කේබලයකට හෝ හානි සිදුවුවහොත් එය නැවත යථා තත්ත්වයට පත් කිරීමට සති කිහිපයක් හෝ මාස කිහිපයක් ගත විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
මීට පෙර 2024 වසරේදී ද හවුති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් රතු මුහුදේ කේබල් පද්ධතිවලට හානි සිදු වූ අතර ඉන් ආසියාවේ සහ අප්‍රිකාවේ අන්තර්ජාල සබඳතාවලට බාධා එල්ල විය.
වත්මන් ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉරානය සතු දිය යට මෙහෙයුම් කණ්ඩායම් මගින් මෙම කේබල්වලට හානි කිරීමේ හැකියාව පවතින බවත්, එය ගෝලීය වශයෙන් දැවැන්ත ආර්ථික සහ සන්නිවේදන අර්බුදයක් නිර්මාණය කළ හැකි බවත් විශේෂඥයෝ අනතුරු අඟවති.