මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් නෞකා හිඟයක් ඇතිවීම නිසා ඉන්ධන ආනයනය කිරීමේ ක්‍රියාවලිය දැඩි බාධාවකට ලක්ව තිබේ.
හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වයත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා ඇතුළු භාණ්ඩ ප්‍රවාහන නෞකා 1,000කට අධික සංඛ්‍යාවක් අවහිර වී ඇත. මෙය මේ වන විටත් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ යුදමය තත්ත්වයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ ස්වභාවික වායු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ‘බ්‍රෙන්ට්’ බොරතෙල් මිල 40% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන වෙළඳපොළට මෙයින් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කරයි.
මාර්තු 12 වැනිදා නිකුත් කරන ලද නවතම තෙල් වෙළඳපොළ වාර්තාවට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට ප්‍රවාහනය කරන ලද බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 20 සිට ඉතා අවම මට්ටමකට ඇද වැටී ඇත. නෞකා ගමනාගමනය නතර වීම සහ ගබඩා පහසුකම් පිරී යාම හේතුවෙන් ගල්ෆ් කලාපීය රටවල් ඔවුන්ගේ දෛනික නිෂ්පාදනය බැරල් මිලියන 10කින් පමණ කප්පාදු කර ඇත. නෞකා ගමනාගමනය කඩිනමින් යථා තත්ත්වයට පත් නොවන්නේ නම්, ඉදිරියේදී සැපයුම් හිඟය තවදුරටත් උග්‍ර වනු ඇති බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු අඟවයි.
මේ අතර, පසුගිය අඟහරුවාදා සවස අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ දැනට ඇණවුම් කර ඇති ඉන්ධන නෞකා දෙකක් මෙරටට පැමිණීම ප්‍රමාද වන බවයි.
කෙසේ වෙතත්, දැනට ලැබී ඇති තොරතුරු අනුව ‘සයිනොපෙක්’ සහ ‘ආර්.එම්. පාක්ස්’ සමාගම් මගින් ඇණවුම් කරන ලද ඉන්ධන තොග කඩිනමින් දිවයිනට ළඟා වීමට නියමිතය. මීට අමතරව, මෙරට ඉන්ධන බෙදාහැරීමෙන් හතරෙන් පංගුවක වගකීම දරන ලංකා අයි.ඕ.සී (LIOC) සමාගම මගින් ඇණවුම් කරන ලද නෞකාවක් ද ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිතව ඇත.







