ශ්‍රී ලංකාව තුළ අනාගතයේදී බිහිවිය යුත්තේ වර්තමාන රජයටත් වඩා හොඳ පාලනයක් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. නෙදර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයක් ලෙස තමන් යම් ප්‍රමිතියක් හෝ මට්ටමක් සකස් කරන්නේ නම්, ඊළඟට බලයට පත්වන පිරිස කළ යුත්තේ එම මට්ටම තවදුරටත් ඉහළ නැංවීම මිස පහත හෙළීම නොවන බවයි.
“ඇත්තටම අපිට වඩා හොඳ ආණ්ඩුවක් ලංකාවේ ඉස්සරහට එන්න ඕනේ. අපි යම් මට්ටමක් සෙට් කරලා තියෙනවා නම් අලුත් ආණ්ඩුව කළ යුත්තේ ඒ මට්ටම තවත් උස්සන එකයි,” යනුවෙන් ඔහු පැවසීය.
උදාහරණයක් ලෙස යම් දේශපාලන ප්‍රමිතියක් 5 මට්ටමේ පවතී නම් එය 5.5 දක්වා ඉහළ නැංවීම සිදුවිය යුතු බවත්, නමුත් මෙරට දේශපාලන සමාජය තුළ බොහෝ විට සිදුවන්නේ එම ප්‍රමිතිය 4 දක්වා පහත හෙළා “අපිත් ඔවුන් වගේමයි” යනුවෙන් පවසමින් ඥාති සංග්‍රහ වැනි දූෂිත ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම බවත් ඔහු පෙන්වා දුන්නේය.
පැරණි දේශපාලන සංස්කෘතිය තුළ පැවති ඥාති සංග්‍රහය සහ අයථා මූල්‍ය ගනුදෙනු තම රජය තුළ සිදු නොවන බවට සහතික වූ අමාත්‍යවරයා, එවැනි දූෂිත ක්‍රියාවලට තමන් හසු නොවන බවද ප්‍රකාශ කළේය.
එමෙන්ම රජය විසින් පවත්වාගෙන යන ප්රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමට බලපෑම් කළ හැකි ශක්තිමත් විපක්ෂයක් නොමැති වීම වර්තමානයේ පවතින එක් අභියෝගයක් බවත්, එවැනි තත්ත්වයක් තුළ වුවද තම රජය ස්වයං විනයකින් යුතුව කටයුතු කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය