මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය සහ සැපයුම නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කරන ලද “Maize Stock” මාර්ගගත තොරතුරු පද්ධතිය සහ වෙබ් යෙදුම (Web App) එළිදැක්වීම කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
රට තුළ පවතින බඩඉරිඟු තොග පිළිබඳ නිවැරදි දත්ත පවත්වා ගැනීම සහ ආනයනය සම්බන්ධයෙන් විද්‍යාත්මක තීරණ ගැනීම පහසු කිරීම මෙම නව පද්ධතියේ ප්‍රධාන අරමුණයි.
මෙම ඩිජිටල් පද්ධතිය ක්‍රියාත්මක වීම හරහා ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවේ. ගොවීන්ට තම අස්වැන්න සඳහා පවතින වෙළඳපළ ඉල්ලුම කල්තියා හඳුනා ගැනීමටත්, අතරමැදියන්ගේ බලපෑමෙන් තොරව සාධාරණ මිලක් ලබා ගැනීමටත් අවශ්‍ය පසුබිම මේ හරහා සැකසේ.
රට තුළ ඇති සමස්ත බඩඉරිඟු ප්‍රමාණය සහ හිඟය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බැවින්, අවදානමකින් තොරව තම රැස්කිරීම් සහ බෙදාහැරීම් සැලසුම් කිරීමට අවස්ථාව තොග රැස්කරන්නන්ට ලැබෙන අතර සත්ව ආහාර නිෂ්පාදකයින් ඇතුළු කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය තොග පවතින ස්ථාන සහ ප්‍රමාණයන් පහසුවෙන් හඳුනාගත හැකි බැවින්, බාධාවකින් තොරව නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාමට හැකි වේ.
විශේෂයෙන්ම දේශීය නිෂ්පාදනය පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීම නිසා, අනවශ්‍ය ලෙස බඩඉරිඟු ආනයනය කිරීම වැළැක්වීමටත්, විදේශ විනිමය ඉතිරි කර ගනිමින් දේශීය ගොවියා ආරක්ෂා වන අයුරින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටත් රජයට හැකියාව ලැබේ.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා-
“මෙම පද්ධතිය හරහා බඩඉරිඟු ක්ෂේත්‍රයේ විනිවිදභාවයක් ඇති වන අතර, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම හරහා ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද එකසේ ආරක්ෂා වන පරිසරයක් නිර් මාණය වනවා. නිවැරදි දත්ත පද්ධතියට ඇතුළත් කරමින් බඩඉරිඟු ගොවීන්, ග්‍රාමීය බඩඉරිඟු තොග රැස්කරන්නන් සහ ආහාර නිෂ්පාදකයින් ඇතුළු කර් මාන්තකරුවන්ට මෙම මාර්ගගත පද්ධතියට ලියාපදිංචි වීම වැදගත් වනවා.”







