ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ කොළඹට ආසන්න නිවාස සංකීර්ණයක ඒකක කිහිපයක් නීති විරෝධී ලෙස බෙදාදීමට අනුබල දීමේ චෝදනාවක් මත ප්රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් 13 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබුණි.
කෙසේ වෙතත්, නියමිත දිනට ඔහු කොමිසම හමුවට නොපැමිණි බව වාර්තා වේ.
ගුවන් තොටුපළ ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඉකුත් 12 වනදා දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. මෙය කලින් සැලසුම් කළ ගමනක් බවද පැවසේ.
තමන් විදේශගත වන බැවින් අදාළ විමර්ශනය සඳහා පෙනී සිටීමට අපොහොසත් වන බවත්, ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් රාජපක්ෂ මහතා විසින් 12 වනදා කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.
මෙම ඉල්ලීම සලකා බැලූ කොමිෂන් සභාව, ඔහුට ප්රකාශයක් ලබාදීම සඳහා ඉදිරියේදී විකල්ප දිනයක් ලබාදීමට පියවර ගනිමින් සිටී.
මෙම සිද්ධියටම අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයකු ද වන මොහාන් පීරිස් මහතාටද ලබන මස 16 වන සඳුදා දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.