ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන කථානායකවරයාට එරෙහිව එල්ල වී ඇති බරපතල දූෂණ චෝදනා හමුවේ, ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් ඔහු වහාම ධුරයෙන් ඉවත් විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
ඒ මහතා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී විසින් කථානායකවරයාට එරෙහිව අල්ලස හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව එදිරිමාන්න මහතා මෙහිදී අනාවරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ආ) අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව සෘජුවම සම්බන්ධ වන බව ඔහු පෙන්වා දුන්නේය.
එවැනි ප්‍රබල නෛතික බැඳීමක් පවතින පසුබිමක, තමන්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් විමර්ශනයක් සිදු කෙරෙන විට කථානායකවරයාට තවදුරටත් එම ධුරයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
වත්මන් ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය විසින් දේශපාලන සමාජයට යෝජනා කළ “දේශපාලන සදාචාරය” මේ වන විට ඔවුන්ගේම පාලනය තුළ දැඩි අභියෝගයකට ලක්ව ඇති බවද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
“ගරු කථානායකතුමනි, දැන් කාලය හරි, ඔබේ පූර්වගාමියා වෙච්ච අශෝක රන්වල අනුගමනය කරන්න” යැයි පවසමින් ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම තත්ත්වය හමුවේ නිසි පියවරක් ගන්නා ලෙසයි.