Home Local News Room : හිටපු නි. කතානායක බොරු කියා කුණාටු ආධාර අරන්…

News Room : හිටපු නි. කතානායක බොරු කියා කුණාටු ආධාර අරන්…

0
0

 

පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් තම ව්‍යාපාරික ස්ථානයට හානි සිදු වූ බව පවසමින් හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ලබාගෙන ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය විය.

කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ලබාදෙන වන්දි මුදල්, කිසිදු හානියක් සිදු නොවූ ව්‍යාපාරික ස්ථාන හිමියන් පිරිසක් වෙත ද අක්‍රමවත් ලෙස ගෙවා ඇති බව මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.

“මම කුඩා පරිමාණ ව්‍යවසායකයින් කිහිප දෙනෙකුට වන්දි චෙක්පත් පිරිනැමුවා. ඒ අතර හිටපු නියෝජ්‍ය කථානායකවරයාත් හිටියා. නමුත් පසුව නිලධාරීන් මට දැනුම් දුන්නා ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට කිසිදු ආපදා හානියක් සිදුව නැති බව. මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යවසාය සංවර්ධන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, හිටපු නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට තමන් වන්දි ගෙවූ බවයි. කෙසේ වෙතත්, අදාළ ස්ථාන පෞද්ගලිකව පරීක්ෂා නොකළ බවත්, කොලොන්න ප්‍රාදේශීය කාර්යාලයෙන් ඉදිරිපත් කළ වාර්තාව මත පදනම්ව මෙම ගෙවීම් සිදු කළ බවත් ඔහු පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මැදිහත් වී නෑ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ඩී.එස්. නිශාන්ත මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ කර්මාන්ත අමාත්‍යාංශය හරහා ව්‍යාපාරිකයන් 76 දෙනෙකුට මෙම වන්දි මුදල් ලබා දී ඇති අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගෙන නොමැති බවයි. අදාළ අධ්‍යක්ෂවරයා නිසි ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසු ගෙවීම් නිර්දේශ කළේ නම් මෙම අක්‍රමිකතාව වළක්වා ගැනීමට තිබූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here