Home Local News Room : සජිත්ට මානසික පරීක්‍ෂාවක් කරන්නැයි කියයි..

News Room : සජිත්ට මානසික පරීක්‍ෂාවක් කරන්නැයි කියයි..

0
0

 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට පෙර, ඔහුගේ මානසිකත්වය පිළිබඳව ප්‍රථමයෙන් සොයා බැලිය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දරුවන්ට හඳුන්වා නොදෙන ලෙස ඉල්ලමින් මීට පෙර විපක්ෂ නායකවරයා මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ප්‍රතිමාව අසල විරෝධතාවයක නිරත වූ බවයි. 

එසේ තිබියදී, එම ප්‍රතිසංස්කරණම වහාම ක්‍රියාත්මක කරන ලෙස ඔහු දැන් රජයෙන් ඉල්ලා සිටීම හාස්‍යයට කරුණක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

“මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක නොකළහොත්, අනාගතයේදීත් සජිත් ප්‍රේමදාස මහතා වැනි පුද්ගලයන් බිහිවීමේ අවදානමක් පවතිනවා. මෙම ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙන යා යුතු බවට වන ප්‍රධානතම හේතුවක් වන්නේත් එයයි.”

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන ජනවාරි 29 සිට පළමු ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා තහවුරු කළේය. ඒ අනුව, හයවන ශ්‍රේණිය හැරුණු විට අනෙකුත් ශ්‍රේණි සඳහා ද අදියර කිහිපයක් යටතේ මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට නියමිතය.

මෙම ක්‍රියාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඒකාබද්ධව මෙහෙයවන අතර, ඊට අදාළ වැඩසටහන් මේ වන විට සකස් වෙමින් පවතින බවද ඔහු පැවසීය.

විපක්ෂ නායකවරයාගේ විවේචනවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, නව මොඩියුල තුළ ගැටලු 147ක් පවතින බවට සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශයන් පදනම් විරහිත බවයි. 

“අපට සජිත් ප්‍රේමදාස මහතාගේ තාලයට වැඩ කරන්න බැහැ. ඔහුගේ ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වන්නේ ඔහු මෙම මොඩියුල කියවා හෝ නැති බවයි,” යනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here