Home Local News Room : කියන දේ නෑසුවොත් දැඩි කි‍්‍රියාමාර්ග ගන්නවා..- ගුරු, විදුහල්පතිලා ජනපතිට...

News Room : කියන දේ නෑසුවොත් දැඩි කි‍්‍රියාමාර්ග ගන්නවා..- ගුරු, විදුහල්පතිලා ජනපතිට දන්වති

0
0

 

කල් දැමීමට සිදු වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විද්‍යාත්මක හා විනිවිදභාවයකින් යුතුව සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව විසින් විශේෂ යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

මෙම ලිපිය මගින් වෘත්තීය සමිති අවධාරණය කරන්නේ තමන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි ප්‍රතිගාමී පිරිසක් නොවන බවත්, වර්තමාන දෝෂ සහිත අධ්‍යාපන රටාව වෙනුවට ගුණාත්මක සංවර්ධනයක් අපේක්ෂා කරන බවත්ය.

යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් නිල කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. 1982 ධවල පත්‍රිකාවට පවා එවැනි කෙටුම්පතක් තිබූ බව සිහිපත් කරන ඔවුන්, වහාම විධිමත් කෙටුම්පතක් ඉදිරිපත් කර අනුමත කරගත යුතු බව පවසයි.

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ පවා බරපතල වැරදි තිබියදී ඒ සඳහා වගකියන නිශ්චිත සම්පාදක මණ්ඩලයක් ප්‍රකාශ කිරීමට අමාත්‍යංශය අපොහොසත් වී ඇති බව ලිපියේ සඳහන් වේ. එබැවින් ප්‍රාමාණික බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත්, පූර්ණ වගකීම භාරගන්නා මණ්ඩලයක් පත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

දරුවන් පර්යේෂණාගාර මීයන් බවට පත් නොකර, 2026 වසරේදී තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක විධිමත් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර එහි වාර්තාව මහජන සංවාදයට විවෘත කළ යුතු බවට යෝජනා කර ඇත.

මොඩියුල ක්‍රමය හරහා පෙළපොත් අහෝසි කිරීමට යාමෙන් දුෂ්කර ප්‍රදේශවල තාක්ෂණික පහසුකම් අවම දරුවන්ට අසාධාරණයක් සිදුවන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. මෙම විෂමතා අවම කර 2027 සිට නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

සාර්ථක ඉගැන්වීමක් සඳහා පන්තියක සිසුන් සංඛ්‍යාව 30 කට සීමා කිරීම.

මොඩියුල හරහා දරුවන්ට හඳුන්වා දෙන බාහිර යූටියුබ් නාලිකා සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් රජයේ සෘජු නියාමනයක් පැවතිය යුතු වීම.

විභාග වෙනුවට හඳුන්වා දෙන පන්ති මට්ටමේ තක්සේරුකරණයේ පවතින අවිශ්වාසනීයත්වය සහ “කළු කඩ” ක්‍රම ඇතිවීමේ අවදානම පිළිබඳව නැවත සමාලෝචනය කිරීම.

සිසුන් 50 ට අඩු පාසල් වසා දැමීමේ යෝජනාව වෙනුවට, විද්‍යාත්මක පදනමකින් යුතුව පාසල් පද්ධතිය කළමනාකරණය කිරීම.

අධ්‍යාපන අමාත්‍යංශය තවදුරටත් හිතුවක්කාරී ලෙස කටයුතු කරන්නේ නම්, සියලු ප්‍රගතිශීලී බලවේග ඒකාබද්ධ කර ගනිමින් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here