ගයාන් කුමාර වීරසිංහ
හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෙරෙන විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ යම් නිලධාරියකුගේ වගකීම් විරහිත ක්‍රියාවක් හේතුවෙන් ආන්දෝලනයට තුඩුදී ඇති වෙබ් අඩවි කේතය ඊට ඇතුළත්වී ඇති බවයි.
මෙම මොඩියුලය අධීක්ෂණය කළ බව සඳහන් නිලධාරීන්ගේ නම් රැසක් එහි ඇතුළත්ව ඇතත් ඒ කිසිදු නිලධාරියෙක් මොඩියුලය මුද්‍රණය කිරීමට නිසි අධීක්ෂණයක් කළ බවට තොරතුරු ද විමර්ශනයේ දී අනාවරණය වී නැත.
මෙම මොඩියුලය කෙටුම්පත් කිරීමේ සිට මුද්‍රණය කිරීම දක්වා සම්බන්ධ වූ නිලධාරීන්ගෙන් මෙම මොඩියුලය සකස් කිරීමට දායකත්වය ලබා දුන් විද්වතුන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ ලබාගෙන තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන්වලට යොදා ගැනීමට මෙම මොඩියුල 300ක් 350ක් පමණ මුලින් මුද්‍රණය කර ඇත.
ගුරුවරුන්ට පුහුණු වැඩමුළුවලදී මොඩියුල ලබා දී ඇතත් ප්‍රශ්නගත වෙබ් අඩවි කේතය ඒ කිසිදු ගුරුවරයකුගේ අවධානයටද ලක්ව නැති බව ද විමර්ශනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනීගොස් ඇත.
ඒ වනවිටත් ගුරුවරු 5000ක පමණ පිරිසක් පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වී සිට ඇත.
මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇති කරුණු ඉදිරියේ දී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Dinamina