ආණ්ඩුව විසින් කඩිමුඩියේ ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මෙරට දරු පරපුර විනාශයට පත් කරමින් සිදු කරන කාර්යට එරෙහිව සඳුදා (12) පෙරවරු 9:00 ට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ බහුජන සංවිධානයේ කැඳවුම්කරු, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහ විද්වත් සංවාදයකින් තොරව දරුවන් මත පටවමින් පවතින බවයි.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව විවිධ මත දරන පිරිස් මෙම විනාශකාරී ක්‍රියාවලියට එරෙහිව එක්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
හය වසර ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක කේතයක් ඇතුළත් වීම අහම්බයක් නොවන බවත්, එය අධ්‍යාපන ඇමැතිනියගේ සිට ඉහළ නිලධාරීන් දක්වා සම්බන්ධ වූ දැනුවත්ව සිදුකළ මහා පරිමාණ ජාවාරමක් බවත් වීරවංශ මහතා මෙහිදී චෝදනා කළේය.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 200ක ණය මුදලක් වෙනුවෙන් ඔවුන්ගේ වට්ටෝරුවකට අනුව මෙම ප්‍රතිසංස්කරණ සිදුකෙරෙන බව හිටපු අමාත්‍යවරයා අනාවරණය කළේය.
ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට තාක්ෂණික මෙවලම් හා අන්තර්ජාලය භාවිත කරන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් හඳුන්වා දීම හරහා දරුවන්ව අසභ්‍ය වෙබ් අඩවි පරිශීලනය කරන බඩියන් බවට පත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම නව ක්‍රමය හරහා සිදුවන්නේ ප්රශස්ත ශාස්ත්‍රීය දැනුමක් සහිත දරු පරපුරක් බිහි කිරීම නොව, ලෝකය සමඟ තරඟ කළ නොහැකි සිපයිකරණය වූ හෙවත් කුලී හේවායන් වැනි පිරිසක් බිහි කිරීම බව වීරවංශ මහතා අවධාරණය කළේය. ගමේ පාසලෙන් ඉහළටම ගොස් නාසා ආයතනය වැනි ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට නිදහස් අධ්‍යාපනය තුළ තිබූ අවස්ථා මේ හරහා අහුරා දමන බවද ඔහු පැවසීය,.
මෙම විනාශකාරී අධ්‍යාපන ක්‍රමය වහාම අකුලා ගන්නා ලෙසත්, ඊට වගකිව යුතු අධ්‍යාපන ඇමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය බලකර සිටියි.
දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට පක්ෂ භේදයකින් තොරව ලබන සඳුදා ආරම්භ වන අඛණ්ඩ සත්‍යග්‍රහය වටා රොක් වන ලෙස විමල් වීරවංශ මහතා ආරාධනා කළේය.