සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා ලබන ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
අද දින පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලැබිණි.
මෙම සිද්ධියටම අදාළව මීට පෙර අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍යවරයාගේ වැඩිමහල් පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල යන අය ද මේ වන විටත් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති. ඒ අනුව, මෙම චෝදනාවට අදාළව හිටපු අමාත්‍යවරයා ඇතුළු සිව්දෙනෙකු දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙති.
පසුගිය රජය සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකළේ යැයි කියන මෙම වාහන අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම්, හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට මීට පෙර අවස්ථා කිහිපයකදීම උත්සාහ කළද ඔහු ප්‍රදේශයෙන් බැහැරව සිටීම හේතුවෙන් එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබිණි.









