ශ්රී ලංකාව තුළ චිකන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයවිසින් මෙරට සඳහා දෙවන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන පුද්ගලයින්ට “වැඩිදුර ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස”දැනුම් දී ඇත.
මදුරුවන් මගින් බෝවන වෛරස් රෝගයක් වන චිකන්ගුන්යා රෝගය මේ වන විට අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, යුරෝපය, කැරිබියන් මෙන්ම ඉන්දීය සහ පැසිෆික් කලාපීය රටවල් කිහිපයක වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
රෝග ආසාදිත මදුරුවෙකු දෂ්ට කර දින තුනක් හෝ හතක් ඇතුළත රෝග ලක්ෂණ මතු විය හැකි බව වෛද්‍ය වාර්තා සඳහන් කරයි.
උණ සහ සන්ධි වේදනාව මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, මීට අමතරව හිසරදය, මාංශ පේශි වේදනාව, සන්ධි ඉදිමීම සහ සමේ පලු දැමීම වැනි තත්ත්වයන් ද ඇති විය හැකිය.
ආසාදිතයින්ගෙන් බහුතරයක් සතියක් වැනි කෙටි කාලයක් ඇතුළත සුවය ලැබුවද, ඇතැම් පුද්ගලයින්ට මාස ගණනාවක් හෝ වසර ගණනාවක් පුරා පවතින දැඩි සන්ධි වේදනාවන්ට මුහුණ දීමට සිදු විය හැකි බව ද CDC ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගත යුතු බව එම උපදේශනයේ සඳහන් වේ.









