34
ත්‍රිත්ව විදුහල් පිලට එරෙහිව පැවති ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ අවසන් මොහොතේ යුවිඳු කොඩිතුවක්කු තැබූ තීරණාත්මක උත්සාහක දිනුමත් සමඟ ලකුණු 12-9ක තියුණු ජයක් වාර්තා කළ ඉසිපතනය 13 වැනි වරටත් කුසලානය දිනා ගත්තේය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ පැවති මේ තරගයේ ඉසිපතන විදුහලේ තීරණාත්මක උත්සාහක දිනුම වාර්තා වූයේ ලකුණු 9-7කින් පෙරමුණ ගත් ත්‍රිත්ව විදුහල් පිල වසර 2011ට පසු ජනාධිපති කුසලානය දිනා ගැනීමේ ඓතිහාසික ජයග්‍රහණයක් අබියසට පැමිණ සිටියදීය.
තිනේත්‍ර දොඩංගොඩගේ නායකත්වයෙන් යුතුව තරග වැදුණු ඉසිපතන විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක් සහ උත්සාහක දිනුමක් ඇතුළත් වූ අතර, උස්මාන් ෂෆ්රාස්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ත්‍රිත්ව විදුහල් පිල දඬුවම් පහර දෙකක් සහ ඩ්‍රොප් ගෝලයක් රැස් කළේය. තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 7-6කින් පෙරමුණ ගත් ඉසිපතන විදුහල් පිල ඊයේ ජනාධිපති කුසලානය අත්කර ගනු ලැබුවේ අඛණ්ඩව දෙවැනි වරටය.
ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මේ තරගයේ 10 වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස් කරමින් පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහල් පිලට දැඩි අභියෝගයක් එල්ල කළ ත්‍රිත්ව විදුහල් පිල පළමු භාගය නිමාවෙද්දී ලකුණු පරතරය එක් ලකුණකට අඩු කරගැනීමට සමත්වූයේ 13 වැනි මිනිත්තුවේදී හා 19 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට ෂාන් අල්තාෆ් සමත්වීමෙනි.
අනතුරුව පළමු භාගය නිමාවනතුරු දෙපිලම සිය ප්‍රතිවාදීන්ට ලකුණු රැස් කිරීමේ අවස්ථාව අහිමි කරමින් තියුණු සටනක නිරතවීම කැපී පෙනිණි.
57 වැනි මිනිත්තුවේ ත්‍රිත්ව විදුහල් පිල වෙනුවෙන් දඬුවම් පහරක් රැස් කිරීමට ලද කදිම අවස්ථාවක් ෂාන් අල්තාෆ් වෙතින් මඟ හැරී ගියද, 60 වැනි මිනිත්තුවේදී ඔහු විසින් සාර්ථකව එල්ල කරනු ලැබූ විස්මිත ඩ්‍රොප් ගෝලය හේතුවෙන් ලකුණු 9-7කින් පෙරමුණ ගැනීමට ත්‍රිත්ව විදුහල් පිල සමත් විය. ඒ සමඟම තරගයේ උණුසුම ඉහළ ගිය අතර, අවසන් මොහොතේ යුවිඳුගේ තීරණාත්මක උත්සාහක දිනුම වාර්තා වනතුරු දෙපිලම ඊළඟ මිනිත්තු 10 දී කරට කර සටනක නිරත විය.
ෆවුස් මොහොමඩ්