Home Sport News Room : තුන්කොන් ශූරතාව රැගෙන නවදිල්ලියට යති අවසන් සටනේදී ශ්‍රී ලංකාව...

News Room : තුන්කොන් ශූරතාව රැගෙන නවදිල්ලියට යති අවසන් සටනේදී ශ්‍රී ලංකාව ලකුණු 97කින් පරදී

0
0

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවති කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟ මුදලින් රුපියල් ලක්ෂ හතහමාරක් දිනා ගැනීමට ඉන්දීය කාන්තා පිල සමත් විය. ශ්‍රී ලංකා කාන්තා පි‍ලේ දුර්වල පන්දු යැවීම හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිතිකාරිනියන් අමාරුවේ දමමින් ලකුණු 97ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්හ.

කලාප‍යේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්දීය කණ්ඩායම දැඩි ආරක්ෂක රැකවල් මැද, ඊයේ රාත්‍රියේම තුන්කොන් ක්‍රිකට් ශූරතාව හා තෑගි මුදල් ද රැගෙන නවදිල්ලිය බලා පිටත්ව යෑමට සූදානම්ව සිටියහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගයේ කාසි‍යේ වාසිය දිනාගත් ඉන්දීය පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 7කට ලකුණු 342ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සියලු දෙනා ඕවර 48.2කදී ලකුණු 245කට දැවී ගියහ. මෙය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති 34 වැනි එක්දින තරගය වූ අතර, මෙතෙක් ඉතිහාසයේ ඉන්දීය කාන්තා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු ගණන වාර්තා විය. එම ලකුණු ගණනට ‘වයිඩ්’ පන්දු 13ක් හා නිපන්දුවක් ශ්‍රී ලංකා පිලෙන් අමතරව එකතු කර දී තිබිණි.

ඉන්දියාවේ ආරම්භක පිතිකාරිනි ස්ම්‍රිති මන්දනා පන්දු 101කදී ලකුණු 123ක් රැස් කළ අතර, ඇගේ අලංකාර වූ ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. එය මන්දනාගේ 11 වැනි එක්දින ශතකය වූ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමකදී ලැබූ වැඩිම ලකුණු ගණනද විය. මන්දනා හා ආරම්භක පිතිකාරිනි ප්‍රාටිකා රාවෙල් අතර පළමු කඩුල්ලට පන්දු 89කදී ලකුණු 70ක් එක්වූ අතර, දෙවැනි කඩුල්ලට මන්දනා හා අංක තුන පිතිකාරිනි හාර්ලීන් ඩියෝල් අතර පන්දු 106කදී ලකුණු 120ක් එක්වීමෙන් ඉන්දීය ඉනිම ශක්තිමත් විය. ප්‍රාටිකා රාවෙල් ඉදිරි පාදයේ ක්‍රීඩා කරමින් පන්දුවට ‘ෆ්ලික්’ කිරීමකදී ‘මිඩ් ඕන්’ වෙතට ඇදී ගිය උඩ පන්දුව ඉදිරියට පැන ඉතා අලංකාර ලෙස රැක ගැනීමට පියුමි වත්සලා සමත්වූ අතර, එය තරගයේ කැපී පෙනෙන දසුනක් විය.

ඉන්දීය මැද පෙළ පිතිකාරිනියන් වූ හාර්ලීන් ඩියෝල් පන්දු 56කදී ලකුණු 47ක්, හර්මන්ප්‍රීට් කෞර් පන්දු 30කදී ලකුණු 41 හා ජෙමීමා රොඩ්‍රිගස් පන්දු 29කදී ලකුණු 44ක් ලබා දැවැන්ත ලකුණු පුවරුවේ හවුල්කාරියෝ වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස හසිනි පෙ‍රේරා තෙවැනි පන්දු‍වේදී ලකුණු නොලබා දැවී ගිය අතර, විශ්මි ගුණරත්න හා චමරි අතපත්තු එක්ව පන්දු 80කදී ලකුණු 68ක් දෙවැනි කඩුල්ලට එක්කර සිටියදී විශ්මි පන්දු 41කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 36කට දැවී ගියාය.

තෙවැනි කඩුල්ලට චමරි හා නිලක්ෂිකා ද සිල්වා පන්දු 57කදී ලකුණු 53ක් එක් කළ අතර, චමරි පන්දු 66කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟ මේ තරගාවලියේ රැස් කළ දෙවැනි අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමඟ ස්නෙහෙ රානා එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියාය. අනතුරුව නිලක්ෂිකා හා හර්ෂිතා සමරවික්‍රම පන්දු 57කදී ලකුණු 52ක සබඳතාවක් සිවුවැනි කඩුල්ලට එක් කළහ. හර්ෂිතා ලකුණු 26කට දැවී ගිය අතර, නිලක්ෂිකා ද සිල්වා අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 48කට දැවී ගියාය. ලකුණු 19කදී ශ්‍රී ලංකා කඩුලු 4ක් දැවී යෑමෙන් දැඩි අසීරුතාවකට පත්ව තිබියදී අනුෂ්කා සංජීවනී හා සුගන්ධිකා කුමාරි අටවැනි කඩුල්ලට පන්දු 53කදී ලකුණු 51ක් එක් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

අමන්‍ජොට් කෞර් ලකුණු 54කට කඩුලු 3ක් හා ස්නෙහෙ රානා ලකුණු 38කට කඩුලු 4ක් බිඳහෙළා පන්දු යවන්නියන් අතර පෙරමුණ ගත්හ. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ස්ම්‍රිති මන්දනා දිනාගත් අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කඩුලු 15ක් බිඳහෙළාගත් ස්නෙහෙ රානා සම්මාන දිනා ගත්තාය.

ඉන්දීය කාන්තා පිල කඩුලු 7කට ලකුණු 342 (ඕවර 50) ප්‍රාටිකා රාවෙල් 30, ස්ම්‍රිති මන්දනා 116, හාර්ලීන් ඩියෝල් 47, හර්මන්ප්‍රීට් කෞර් 41, ජෙමීමා රොඩ්‍රිගස් 44, අමන්ජොට් කෞර් 18, දීප්ති ෂර්මා නොදැවී 20 (මල්කි මදාරා 74/2, දෙව්මි විහංඟා 69/2, සුගන්ධිකා කුමාරි 59/2, ඉනෝකා රණවීර 62/1)

ශ්‍රී ලංකා කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 245 (ඕවර 48.2) විශ්මි ගුණරත්න 36, චමරි අතපත්තු 51, නිලක්ෂිකා ද සිල්වා 48, හර්ෂිතා සමරවික්‍රම 26, අනුෂ්කා සංජීවනී 28, සුගන්ධිකා කුමාරි 27 (අමන්ජොට් කෞර් 54/3, ස්නෙහෙ රානා 38/4)

ප්‍රින්ස් ගුණ‍සේකර

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here