18
මහමේරුව රැලික්‍රොස් පළමු තරගයේදී අශාන් සිල්වා දක්ෂතම රියැදුරු ලෙසත්, ජාක් ගුණවර්ධන දක්ෂතම ධාවකයා ලෙසත් සම්මාන දිනා ගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLADAR) වාර්ෂිකව සංවිධාන කරන ‘ශ්‍රී ලංකා සුපර් සීරීස් 2025’ මෝටර් රථ හා යතුරුපැදි තරගමාලාවේ දෙවැනි තරගය මහමේරුව රැලික්‍රොස් පළමු අදියර පසුගියදා ගිරිඋල්ල මහමේරුව ධාවන පථයේදී පැවැත්විණි.
තරග ඉසව් 14ක් පැවති මෝටර් රථ තරග අංශයේදී අශාන් සිල්වා එස්.එල්./ ජී.ටී. 3500 සී.සී. තරග ඉසව් ද්විත්වයම ජය ගැනීමට සමත් වූ අතර, මනීෂ ගුණතිලක ඉසව් දෙකෙන්ම දෙවැන්නා විය.
යතුරුපැදි තරග ඉසව් 10ක් අතරින් ජාක් ගුණවර්ධන එම්.එක්ස්. රේසිං මෝටර්ක්‍රොස් 100 -125 සී.සී. (2ටී) 175 – 250සී.සී. (4ටී) තරග ඉසව් ද්විත්වයම ජය ගත්තේය. ඩී.එම්.ඩී. කල්හාර ඉසව් දෙකෙන්ම දෙවැන්නා විය.
සෙසු මෝටර් රථ තරග ඉසව්වලින් අජිත් කීර්ති තරග ඉසව් දෙකක්, තරිඳු ධර්මරත්න, එම්.එච්. මොහොමඩ්, මලින්ද ගුණසේකර, ඩිලුක්ෂ පෙරේරා, කවීෂ අබේවර්ධන, අදීෂ කිත්විත්, තනුක ලියනාරච්චි, සංගීත් සූරියගේ, චමෝද් සමරකෝන් හා උෂාන් පෙරේරා ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ.
යතුරුපැදි ඉසව්වලින් රවීෂ ජයශාන්ත, බකීර් අහමඩීන්, කමල් ඩීන් අහමඩීන්, දේශාන් සොලංකී, අමීර් අහඩීන්, දිනෙත් මිහිරංග, සදීව අමරසිංහ හා පැතුම් ධනංජය ද ජයග්‍රහණ වාර්තා කළහ.
‘ශ්‍රී ලංකා සුපර් සීරීස් 2025’ තරගමාලාව තරගාවලි හයකින් සමන්විත වන අතර, මහමේරුව පළමු අදියරත් සමඟ තරගාවලි දෙකක් නිමාවට පත්ව ඇත. මේ තරගමාලාවේ මීළඟ තරගාවලිය කැල්වරී සුපර්ක්‍රොස් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
ගීෂා මුණසිංහ