12
බංග්ලාදේශ පිල අවසන් වරට 2021 වසරේ මෙරටදී ක්‍රීඩා කළ ටෙස්ට් තරගයේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මාස 4කට ආසන්න කාලයක් පැවති ක්‍රිකට් ඉඩෝරයට තිත තබමින් තරගමාලාවක් ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරටට පැමිණීමට නියමිතය.
මෙහිදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 2ක් එක්දින සහ විස්සයි20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතය.
පසුගිය පෙබරවාරි මස පැවති ඔස්ට්‍රේලියානු පිලේ සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවට බංග්ලාදේශය සංචාරය තෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් නොතිබූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළ තරග කාලසටහනට අනුව බංග්ලාදේශ පිල ලබන මස 13 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
ජුනි 17 වැනිදා ගාල්ලේදී ටෙස්ට් තරගාවලියෙන් මේ සංචාරය ආරම්භ වන අතර, දෙවැනි සහ අවසන් තරගය 25 වැනිදා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
අනතුරුව ජූලි මස 2 වැනිදා එක්දින තරගාවලිය ආරම්භ වන්නේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. දෙවැනි තරගය ජූලි 5 වැනිදා ප්‍රේමදාස පිටියේදීම පැවැත්වෙන අතර, අවසන් එක්දින තරගය ජූලි 8 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මේ තරග ත්‍රිත්වයම දිවා රාත්‍රී ලෙස පැවැත්වීමට නියමිතය.
පල්ලෙකැලේදී ජූලි 10 වැනිදා විස්සයි20 තරගාවලිය ආරම්භ වන අතර, ජූලි 13 දඹුල්ලේදී දෙවැනි විස්සයි20 තරගය පැවැත්වෙන අතර, ජූලි 16 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත් වෙයි.
බංග්ලාදේශ පිල මෙරට සංචාරයක නිරත වන්නේ වසර 4කට පසුවය. අවසන් වරට 2021 වසරේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ඔවුන් මෙරටට පැමිණි අතර, එහිදී ශ්‍රී ලංකාව 1-0කින් තරගාවලිය ජය ගත්තේය. කෙසේ වෙතත් ඔවුන් එක්දින තරගාවලියක් මෙරටදී ක්‍රීඩා කරන්නේ වසර 2019න් පසුව වන අතර, විස්සයි20 තරගාවලියකට එක්වන්නේ වසර 8කට පසුවය. අවසන් වරට 2017 වසරේ අප්‍රේල් මස බංග්ලාද්ශය මෙරටදී විස්සයි20 ද්විපාර්ශ්වික තරගාවලියක් ක්‍රීඩා කර තිබේ.
මේ දෙපිල ද්විපාර්ශ්වික තරගමාලාවකින් හමුවන්න් පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසුවය. එවර ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයේ සංචාරයකට එක් වූ අතර, එහිදී ටෙස්ට් තරගාවලිය 2-0කින් සහ විස්සයි20 තරගාවලිය 2-1කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශයයි.
ශ්‍රී ලංකා පිල ක්‍රිකට් ජාත්‍යන්තර තරග නොමැතිව මාස 4කට ආසන්න කාලයක් සිටියද බංග්ලාදේශ පිල ශ්‍රී ලංකා සංචාරයට පෙර ලබන සතියේ සිට එක්සත් අරාබි එමිර්හිදී විස්සයි20 තරග 2ක්, පාකිස්තානයේදී විස්සයි20 තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතය.
තරග කාලසටහන
ටෙස්ට් තරගාවලිය
ජුනි 17 – 21: පළමු තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී)
ජුනි 25 – 29: දෙවැනි තරගය (කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී)
එක්දින තරගාවලිය
ජූලි 2දා: පළමු තරගය (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
ජූලි 5දා: දෙවැනි තරගය (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
ජූලි 8දා: තෙවැනි තරගය (පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී)
විස්සයි20 තරගාවලිය
ජූලි 10දා: පළමු තරගය (පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී)
ජූලි 13දා: දෙවැනි තරගය (රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී)
ජූලි 16දා: තෙවැනි තරගය (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
නිරෝෂාන් ප්‍රියංකර