Home Sport News Room : ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ගැටුම අද

News Room : ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ගැටුම අද

0
0

තතුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සත්කාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (2) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා තරාගවලියක් ලෙස පැවැත්වෙන මේ තරගාවලියේ සියලු තරග පෙරවරු 10.00ට ආරම්භ වේ.

තරගාවලියේ මුල් තරග දෙකේදී ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාව ද ඉන්දියාව හමුවේ පරාජය වූ අතර, ඉන්දියාව ප්‍රසාද ලකුණු 4ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුරණේ සිටී. දළ ලකුණු වේගය අනුව දකුණු අප්‍රිකාව (-0.300) දෙවැනි සහ ශ්‍රී ලංකාව (-2.0282) තෙවැනි තැන්වල පසු වන අතර, මේ දෙපිලට අවසන් තරග බලාපොරොත්තු තබා ගැනීමට අද තරගය තීරණාත්මක වී තිබේ.

කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහිව පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකා පිතිකාරිනියන්ගේ අසාර්ථකත්වය පරාජයට හේතු විය. ලකුණු 30ක් රැස් කළ හසිනි පෙරේරා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. ශ්‍රී ලංකා පිල ලකුණු 147කට දැවී ගිය අතර ඉන්දියාව කඩුල්ලක් දැවී ජය තහවුරු කර ගත්තේය. එබැවින් අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකාරිනියන්ගේ නැඟී සිටීම අනිවාර්යය වී ඇත.

දකුණු අප්‍රිකා – ඉන්දියා තරගයේදී දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකාරිනියන් වූ ටස්මින් බ්‍රිට්ස් (109) සහ ලෝරා වොල්වාඩ් (43) සාර්ථක සබඳතාවක් ගොඩනැඟූවද අවසන් කඩුලු 5 ලකුණු 11ක් තුළ බිඳ වැටීම නිසා දකුණු අප්‍රිකාවෙන් ජය ගිලිහී ගියේය. එම තරගයේදී බ්‍රිට්ස් වාර්තා කළේ මෙතෙක් තරගාවලියේ වාර්තා වූ එකම ශතකයයි.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අද ජාත්‍යන්තර එක්දින පිටියේදී එකිනෙකා හමුවන්නේ 24 වැනි වරටය. මෙතෙක් හමුවූ අවස්ථා අතුරින් තරග 15ක් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව ඇත. ශ්‍රී ලංකාව තරග 5ක් ජය ගනිද්දී තරග 3ක් විසඳුමකින් තොරවී තිබේ.

කෙසේ වෙතත් අවසන් වරට මේ දෙපිල පසුගිය වසරේ අප්‍රේල් මස දකුණු අප්‍රිකාවේදී හමුවූ අතර, එහිදී තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1 – 1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූයේ තුන්වැනි හා අවසන් තරගය කඩුලු 6කින් ජය ගනිමිනි.

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් වරට මෙරටදී දකුණු අප්‍රිකාව එක්දින තරගයකින් පරාජය කර ඇත්තේ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදීය. තරග 4කින් සමන්විතව එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවති එම තරගාවලියේ තෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිව තිබේ.

මේ අතර තුන්කොන් තරගාවලියේ සිවුවැනි තරගය සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන ඉරිදා (4) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

මේ තරගාවලියේ සියලු තරග ක්‍රීඩාංගණයේදී නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති අතර, තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කියා සිටියේ ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයට පැමිණ තම කණ්ඩායමට ශක්තියක් වන ලෙසයි.

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here