15
අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය හෙට (3) සහ අනිද්දා (4) පැවැත්වේ.
පසුගිය වසරේ ලීග් තරගාවලියේ ප්‍රතිඵල අනුව ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 16ක් අතර අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේ සිට ආරම්භ වූ මෙවර තරගාවලියේ හෙට පැවැත්වෙන තීරණාත්මක තරගවලදී සාන්ත පීතර විදුහල් පිල සහ සහිරා විදුහල් පිල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී මුණගැසෙන අතර, ත්‍රිත්ව විදුහල් පිල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල හැව්ලොක් පිටියේදි තරගවැදීමට නියමිතය.
පසුගිය සති අන්තයේදී තර්ස්ටන් විදුහල් පිලට එරෙහිව ලකුණු 51-8ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ සාන්ත පීතර විදුහල් පිල සමඟ හෙට තරගයට එක්වීමට සහිරා විදුහල් පිල සුදුසුකම් ලැබුවේ පසුගිය සතියේදී විද්‍යාර්ථ විදුහල් පිලට එරෙහිව ලකුණු 16-12ක ජයක් වාර්තා කරමිනි. විද්‍යා විද්‍යාලයට එරෙහිව ලකුණු 59-35ක ජයක් ලබා සාන්ත තෝමස් විදුහල් පිල අර්ධ අවසන් පූර්ව වටයට එක්වූ අතර, ත්‍රිත්ව විදුහල් පිල අවසන් අටට එක්වූයේ ලකුණු 62-5කින් සාන්ත අන්තෝනි කණ්ඩායම පරාජයට පත් කරමිනි.
මේ අතර පසුගිය සතියේ තරගවලදී කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 28-24ක ජයක් ලැබූ කොළඹ රාජකීය විදුහල් පිල සහ ධර්මරාජ කණ්ඩායමට එරෙහිව ලකුණු 48-29ක ජයක් වාර්තා කළ ඩී.එස්. සේනානායක විදුහල් පිල අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අනිද්දා හැව්ලොක් පිටියේදී පැවැත්වෙන අතර, මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 61-0ක ජයක් අත්කර ගත් වත්මන් ශූරයන් වන ඉසිපතන විදුහල් කණ්ඩායමත්, සාන්ත ජෝසප් පිල ලකුණු 36-23කින් පරාජය කළ වෙස්ලි විදුහල් කණ්ඩායමත් අතර තරගය ද අනිද්දා පස්වරුවේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
ෆවුස් මොහොමඩ්