1
ආණ්ඩු පක්ෂයේ සිට විජයග්‍රහණය කරන පළමු මැතිවරණය ලබන හය වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පෙරේදා (29) පැවැති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“මැයි හය වෙනිදා තියෙන මැතිවරණය එන්න තිබුණේ ගිය අවුරුද්දේ මාර්තු නව වෙනිදා. ඒ මැතිවරණය කල් දැමීමේ හේතුව විදිහට එදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කිවුවේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සල්ලි නෑ කියලා.
ඇත්ත හේතුව ඒක නෙමෙයි කියලා අපි දන්නවා. එදා ඡන්ද තිබ්බා නම් මීට අවුරුද්දකට කලින් තමයි මේ රටේ සියලු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා අපි දිනන්නේ. ජනාධිපතිවරණය තිබ්බා. අනුර සහෝදරයා ඉහළින්ම දිනුවා. ඊළඟට මහමැතිවරණය තිබ්බා. ලොවෙත් නැති වෙන්නම දිනලා ඉවර වුණා. ලබන හය වෙනිදාට මේ රටේ සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා මාලිමාව ජයග්‍රහණය කරනවා. විපක්ෂයේ ඉඳලා දිනන්න තිබූ ඡන්දය අපි දැන් දිනන්නේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා දිනන පළවෙනි මැතිවරණය හැටියටයි.
මේ මැතිවරණ දෙකේ වෙනස අපි බලන්න ඕනෙ. මහමැතිවරණ කාලේ ජනාධිපතිවරණ කාලේ අද විපක්ෂයට පත්වෙලා ඉන්න අය මොනවද අපි ගැන කිවුවේ. සජිත් මහත්තයා, හකීම්ලා, හිස්බුල්ලා කිවුවේ අනුර කුමාර ජනාධිපති වුණොත් මොනවා වෙනවා කියලද? ජේවීපීකාරයෝ ආවොතින් හාමතේ වැළලෙන්න වෙනවා, කන්න නැති වෙනවා, පෝලිම්වල ඉන්න වෙනවා, ණය දෙන්න කෙනෙක් නෑ, අයි.එම්.එෆ්. එක දාලා යනවා, ඉන්දියාව, චීනය තරහා වෙනවා ආදී නොයෙක් දේ කිවුවා. එක් කෙනෙක් කිවුවා, මොන භාෂාවෙන් කතා කරල ද වෙන රටවලින් ණය ඉල්ලන්නේ කියලා. අපට ඉංග්‍රීසි බෑ කිවුවා. බෞද්ධ අයට කිවුවා, ජේවීපීකාරයෝ ආවොත් පන්සලේ පෙරහර කරන්න දෙන එකක් නෑ කිවුවා. මේ කාත්තන්කුඩියේ මුස්ලිම් ජනතාවට පල්ලිය ඉස්සරහා තියාගෙන කිවුවේ අනුර කුමාර ජනාධිපති වුණොත් ආගම අදහන්න දෙන එකක් නෑ, මුස්ලිම් අයගේ රැවුල කපන්න වෙනවා, රැවුල වවන්න දෙන්නේ නෑ කියලා හිස්බුල්ලා ඇමැතිතුමා කිවුවා නේද? ඔහුගේ රැවුල තාම තියෙනවා නේද? ගණිකා වෘත්තිය නීතිගත කරනවා කිවුවා. අපි ඇවිල්ලා සමලිංගික කසාදවලට අනුමැතිය දෙනවා කිවුවා. හිස්බුල්ලා එහෙම කිවුවා නේද?
මාලිමාව ඇවිල්ලා මාස පහයි. අනුර කුමාර ජනාධිපති වෙලා හොඳ ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන්. කලින් ආණ්ඩු ජනතාවගේ ඡන්ද ගත්තට ජනතාවගේ ආණ්ඩු නෙමෙයි. රාජපක්ෂලා ආණ්ඩු හැදුවා. ඒවා නෑදෑයන්ගේ ආණ්ඩු. රනිල් වික්‍රමසිංහ ආණ්ඩු හැදුවා. ඒවා යාළුවන්ගේ ආණ්ඩු.
මේවා නෑදෑයන්ගේ යාළුවන්ගේ ආණ්ඩු නෙමෙයි. ජනතාවගේ ආණ්ඩුවක් හදලා රනිල් රාජපක්ෂලා ආණ්ඩු හදනකොට හිස්බුල්ලා, හකීම්ලා, බදියුදීන්ලා මන්ත්‍රී ධුර ටිකක් තියාගෙන කේවල් කරනවා. අපට කරන්න බැරි වූ දේවල් තියෙනවා. අවශ්‍ය තරම් වේගයෙන් හොරු අල්ලන්න බෑ. ඒ අපි හොරු අල්ලන්න අකමැති හින්ද නෙවෙයි. ඒකට රටේ නීතියක් තියෙන හින්දා. රටේ නීතියට අනුව ඒ දේවල් කරනවා. අද නීතිය නීතිය විදිහට ක්‍රියාත්මක වෙනවා. මර්වින් සිල්වා හිරේ ඉන්නවා. කවුරුත් මුකුත් කියන්නේ නෑ. මර්වින් සිල්වා නිදහස් කරනු කියලා උද්ඝෝෂණ කරන්නේ නෑ. මර්වින් සිල්වා නිදහස් කරන්න කියලා බෝධි පූජා තියන්නේ නෑ. චාමර සම්පත් හිරේ ඉන්නවා. එයා හිරේට ගියේ පගාව ගත් නිසා. චාමර සම්පත් හිරේට ගියා. මටත් යන්න වෙනවා කියලා කවුරු හරි මෙතැන ඉන්න අය බයේ ඉන්නවාද? ඕගොල්ලෝ බයේ ඉන්නවාද? නෑනේ. චාමරත් ගිහිල්ලා නම් මට බඩුම තමයි කියලා හිතන කට්ටිය මේ කාත්තන්කුඩියේ නැද්ද? පිල්ලෙයාන් ඇතුළට ගත්තා. මඩකලපුව උපකුලපති අතුරුදන් කිරීමේ සිද්ධියට පිල්ලෙයාන් ඇතුළට ගත්තාම ගම්මන්පිල කලබල වුණා. එයා හම්බ වෙන්න ගියා. ඇවිල්ලා මාධ්‍යයට කිවුවේ පිල්ලෙයාන් අහිංසකයිලු. ඇහේ කඳුළුලු. රට බේරා ගත්තලු. ජාතික වීරයෙක්ලු. ජනතාවට මේ හැමදේම හොඳට තේරෙනවා.”
නෙරංජලා වික්‍රමසිංහ