6
‘ගම දිනවන සටනට කම්කරු බලය’ තේමාවෙන් වතුකරයේ ජනතාවට උපහාරයක් දැක්වීමේ විශේෂ අවශ්‍යතාව අනුව මෙවර මැයි දිනය තලවකැලේ ප්‍රදේශයට ගෙන යෑමට තීරණය කළ බවත් සමගි ජන බලවේගය සමඟ වැඩ කරන සියලුම ජනතාවට මැයි දිනයට සහභාගි වන්නැයි ආරාධනා කර තිබෙන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ, සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (29) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද පැවැසීය.
“ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රගතිය, ආණ්ඩුව පිළිබඳව තිබෙන විශ්වාසය, ආණ්ඩුවේ වැඩ කටයුතු පිළිබඳව තක්සේරුව කරන්න ජනතාවට මැයි හය වෙනිදා අවස්ථාව උදා වෙනවා. ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සහ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කළාද නැද්ද, ඒවාට අවතීර්ණ වුණාද නැද්ද, ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව සෑහීමකට පත්වීමට හැකිද නොහැකිද කියන තීන්දු ජනතාවට ගන්න මැයි හය වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී අවස්ථාව තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට උදාසීනත්වයක් දක්වන්නේ නැතිව තක්සේරුමය මතයක් මත ඡන්දය ප්‍රකාශ කරන ලෙස සමගි ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
‘බොරුවට තිත සමගියට ජය’ තේමාවෙන් සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණය සංවිධාන කිරීමට කටයුතු කළා. සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ ප්‍රධාන ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ බලමණ්ඩල සහ ක්‍රියාකාරීන් හමුවීම් 100කට වැඩි ප්‍රමාණයක් පවත්වා අවසන් කර තිබෙනවා. සමගි ජන බලවේගය මෙවර රැලි පැවැත්වීමට කටයුතු කළේ නෑ. ඒ වෙනුවට ඡන්ද දායකයන් පෞද්ගලිකව මුණගැහෙන ඡන්ද ව්‍යාපාරයක් තමයි සමගි ජන බලවේගය මෙවර සංවිධාන කර තිබුණේ. ඒ වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථක වී තිබෙනවා. ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුම්වත් කිරීමේ කටයුත්ත ද සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. අපේක්ෂකයන් අතරත් විශාල උනන්දුවක් තිබෙනවා. ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජනතාව යම් ආකාරයකට ජාතික ජන බලවේගයේ වැඩ කටයුතු මත රැවටීමකට ලක්වුණා නම් එය නිවැරදි කරන්න හොඳම අවස්ථාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාවට ලැබෙනවා.
පළාත් පාලන ආයතන 339කින් බහුතරයක් සමගි ජන බලවේගයට ජය ගැනීමට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. පළාත් පාලන මැතිවරණය පිළිබඳව ජනාධිපතිවරයාට ලැබෙන වාර්තා අනුව ආණ්ඩුව යම් දෙදරීමකට ලක්වී තිබෙනවා.”
රක්ෂණ ශ්‍රියන්ත