Home Sport News Room : තුන්කොන් සටනේදී ඉන්දීය ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාවත් පරදවති

News Room : තුන්කොන් සටනේදී ඉන්දීය ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාවත් පරදවති

0
0

 

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 15ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ඉන්දීය පිල දුන් ලකුණු 277ක ඉලක්කය හමුවේ දකුණු අප්‍රිකාවට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 261ක් පමණි.

මේ සමඟ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දීය පිලට හැකි විය.

නායිකා ලෝරා වොල්වාඩ් සමඟ ඉනිම ඇරඹූ ටස්මින් බ්‍රිට්ස් දකුණු අප්‍රිකානු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන්නද අවසන් කඩුලු 5 ලකුණු 11ක් තුළ බිඳ වැටීමෙන් දකුණු අප්‍රිකාවෙන් ජය ගිලිහී ගියේය.

ලෝරා සහ ටස්මින් පළමු කඩුල්ලට ලකුණු 140ක සබඳතාවක් ගොඩනැඟූ අතර, ලෝරා ලකුණු 43කට දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. ටස්මින් පන්දු 107කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 109ක් රැස් කළ අතර, ඉනිම බිඳ දැමූ ස්නේ රානා ලකුණු 43කට කඩුලු 5ක් දවා ගත්තේ සිය හොඳම එක්දින පන්දු යැවීම සටහන් කරමිනි.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිම වෙනුවෙන් පාර්ටිකා රාවල් ලකුණු 78ක් රැස් කළ අතර, නායිකා හර්මන්ප්‍රීත් කෞර් සහ ජෙමීමා රොඩ්‍රිගස් ලකුණු 41ක බැගින් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී නොන්කුලුලෙකො මිලාබා කඩුලු 2ක් දවා ගත්තාය. මේ තරගාවලියේ තෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ලබන 2 වැනිදා පැවැත්වේ.

ඉන්දීය කාන්තා පිල – 276/6 (ඕවර 50) පාර්ටිකා රාවල් 78, හර්මන්ප්‍රීත් කෞර් 41, ජෙමීමා රොඩ්‍රිගස් 41 (නොන්කුලුලෙකො මිලාබා 55/2)

ද. අප්‍රිකානු කාන්තා පිල – 261 (ඕවර 49.2) ටස්මින් බ්‍රිට්ස් 109, ලෝරා වොල්වාඩ් 43 (ස්නේ රානා 43/5)

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here