Home Sport News Room : එන්එස්එල් අවසන් සටනේ පළමු ඉනිමේ වාසිය ගාල්ලට

News Room : එන්එස්එල් අවසන් සටනේ පළමු ඉනිමේ වාසිය ගාල්ලට

0
0

නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමු ඉනිමේ වාසිය තමන් සතුකර ගැනීමට ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.

කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වූ දඹුලු පළමු ඉනිම ලකුණු 313කට සීමා කිරීමට නිම්සර අතරගල්ල ප්‍රමුඛ ගාලු පන්දු යවන්නන් සමත් වූ අතර, ඒ හේතුවෙන් ගාල්ලට පළමු ඉනිමෙන් ලකුණු 57ක වාසියක් අත්වූයේ ඔවුන් පළමු ඉනිමට ලකුණු 370ක් රැස් කර තිබීම හේතුවෙනි.

මේ වාසිය ද සමඟ ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට ගාලු ක්‍රීඩකයෝ ලකුණු 196ක් ඉදිරියෙන් සිටියේ දෙවැනි ඉනිමේදී කඩුලු 4කට ලකුණු 139ක් රැස් කරමිනි.

දිනය නිමා වන විට දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 18ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාස් කඩුලු 2ක් දවා ගත්තේය.

කඩුලු 5කට ලකුණු 154ක් ලෙස ඊයේ දිනය ඇරඹූ දඹුලු පිල වෙනුවෙන් ලකුණු 18ක් ලබා නොදැවී සිටි විෂාඩ් රන්දික මුළු ලකුණු සංඛ්‍යාව 313 දක්වා ඉදිරියට ගෙන ගියේය. චමිඳු විජේසිංහ (28) සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 80ක් එක් කළ ඔහු, මොහොමඩ් ශිරාස් (11) සමඟ 9 වැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 50කි. පන්දු 186කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 124ක් රැස් කළ විෂාඩ් මේ තරගාවලියේ පිට පිට රැස් කළ දෙවැනි අර්ධ ශතකය මෙය වන අතර, පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකයයි. පන්දු යැවීමේදී නිම්සර අතරගල්ල කඩුලු 5ක් සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2ක් බිඳ දැමූහ.

අද තරගයේ අවසන් දිනයයි.

ගාල්ල පළමු ඉනිම – 370යි. (ඕවර 96.2) ඕෂද ප්‍රනාන්දු 120, දිනේෂ් චන්දිමාල් 80, සන්තුෂ් ගුණතිලක 39, දුනිත් වෙල්ලාලගේ 34, රමේෂ් මෙන්ඩිස් 31, අවිශ්ක පෙරේරා 26 (මොහොමඩ් ශිරාස් 92/4, අකිල ධනංජය 92/2)

දඹුලු පළමු ඉනිම – 313යි. (ඕවර 84.2) විෂාඩ් රන්දික 124, රොන් චන්ද්‍රගුප්ත 65, සම්මු අශාන් 35 (නිම්සර අතරගල්ල 101/5, විජයකාන්ත් වියස්කාන්ත් 28/2)

ගාල්ල දෙවැනි ඉනිම – 139/4යි. (ඕවර 44) දිනේෂ් චන්දිමාල් නොදැවී 54, නිපුන් ධනංජය 22 (මොහොමඩ් ශිරාස් 17/2)

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here