Home World News Room : ලෝක ජනමාධ්‍ය ඉදිරියේ සෙලෙන්ස්කිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දොස් පිට දොස්

News Room : ලෝක ජනමාධ්‍ය ඉදිරියේ සෙලෙන්ස්කිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දොස් පිට දොස්

0
0

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි අතර පසුගියදා ධවල මන්දිරයේදි සිදුවූ උණුසුම් වචන හුවමාරුව දෙරට අතර අනාගත රාජ්‍යතාන්ත්‍රික සබඳතා අවිනිශ්චිත තත්ත්වයකට ඇද දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ උපජනාධිපති ජේඩී වැන්ස් ද සම්බන්ධව වූ එම වාග් සංග්‍රාමය හේතුවෙන් යුක්රේනයට ලැබීමට නියමිත අමෙරිකානු මූල්‍ය සහ මිලිටරි සහාය ඉදිරියේදි නොලැබෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

යුක්රේන ඛනිජ තෙල් ආකර සඳහා ඩොලර් බිලියන ගණනාවක ආයෝජන සිදු කිරිමේ අමෙරිකානු ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් කිරීම සඳහා අමෙරිකාවේ සංචාරය කළ යුක්රේන ජනාධිපතිවරයා එහිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව සිටි බවත්, මීට සති දෙකකට පෙර සෞදි අරාබියේදි රුසියානු සහ අමෙරිකානු නියෝජිතයන් අතර යුද අර්බුදය පිළිබඳ පැවැති සාකච්ඡා යුක්රේන ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වීම හේතුවෙන් එම සාකච්ඡාවට පෙර සිටම අමෙරිකානු ජනාධිපතිවරයා නොසතුටින් පසුවූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ධවල මන්දිරය ඉදිරිපිටදී රාජ්‍ය ගෞරව සහිත යුක්රේන ජනාධිපතිවරයා පිළිගැනීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී සාකච්ඡා ආරම්භ වී ඇති අතර, එම සාකච්ඡාවේ පළමු මිනිත්තු 40 සාමකාමීව පැවති බව ද වාර්තා වේ. කෙසේ වුවද දෙරටේ නායකයන් අතර වාග් සංග්‍රාමය ආරම්භ වී ඇත්තේ අනතුරුව ජාත්‍යන්තර මාධ්‍යවේදින් හමුවේ පැවැති සංවාදයේදී අමෙරිකාවේ උපජනාධිපති ජේඩී වාන්ස් විසින් කරනු ලැබූ ප්‍රකාශයකින් පසුව බව වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කෝපයට හේතු වී ඇත්තේ යුක්රේන යුද ගැටුම් විසඳීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උත්සාහය පිළිබඳ මතු කරමින් උපජනාධිපතිවරයා පළ කළ අදහසට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාවට යුක්රේන යුද්ධය නොදැනෙන බවට සෙලෙන්සි ප්‍රකාශ කිරිම බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

‘ඔබ එන්න එපා අපට යුද්ධය දැනෙන විදිහ ගැන කියා දෙන්න. අපි මේ යුද්ධය විසඳන්නයි හැදුවේ. ඔබ මිලියන ගණනාවක ජීවිත එක්ක සෙල්ලම් කරනවා. ඔබට ඕන වෙලා තියෙන්නේ තුන්වැනි ලෝක යුද්ධයට පාර කපන්නයි. ඔබේ රට ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලයි තියෙන්නේ. ඔබ මේ යුද්ධයෙන් දිනන්නේ නෑ. අමෙරිකාව ඔබට ඩොලර් බිලියන 350ක් දුන්නා. අවි ආයුධත් දුන්නා.

ඔබ එළියේදි කිව්වේ මොකක්ද ? මට සටන් විරාමයක් ඕන නෑ මම දිගටම සටන් කරනවා කියලයි. ඔබට මේ වෙද්දී සටන් විරාමයක් තිබුණා නම් ඔබේ මිනිස්සු මිය යෑමත් නතර වෙනවා. ආයුධත් ඉතුරු වෙනවා.’ යුක්රේන ජනාධිපතිවරයාට බාධා කරමින් දිගින් දිගටම ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ දොස් පවරනු ලැබු බවත්, එම අවස්ථාවට පැමිණ සිටි අමෙරිකාවේ යුක්රේන තානාපතිනිය ඔක්සානා මර්කරෝවා දැඩි අපහසුතාවට පත්ව දෑතින් මුහුණ වසාගත් බවද වාර්තා වේ. අවසානයේදී යුක්රේන ජනාධිපතිවරයාට ඛනිජ තෙල් ගිවිසුමට අත්සන් කිරීම පසෙක ලා සාකච්ඡා මේසයෙන් ඉවත්වීමට සිදුවූ බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here