7
ස්ටීව් ස්මිත් හා චරිත් අසලංක එක්දින තරගාවලියේ කුසලානය සමඟ
දඟ පන්දුව අපේ අවියයි -චරිත් අසලංක
සංචාරක ඔස්ට්‍රේලියානු පිල හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය වසර 2023දී ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොටදී පැවති එක්දින තරගාවලියෙන් පසු දිවා කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු එක්දින තරගාවලිය වේ. ඔස්ට්‍රේලියාව 2022 වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ක්වින්ස්ලන් රිවර්වේ ක්‍රීඩාංගණයේ දිවා කාලයේ එක්දින තරගාවලියකට අවසන් වරට සහභාගිවී ඇති හෙයින් වසර ගණනාවකට පසු මේ දිවා එක්දින තරගාවලිය දෙපිලටම නැවුම් අභියෝගයක් වනු ඇත.
එක්දින තරගවලදී කණ්ඩායම් දෙක අතර මුහුණට මුහුණ තරග වාර්තා අනුව ලෝක එක්දින ශූර ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවට වඩා පැහැදිලි වාසියක් ලබා ඇත. කණ්ඩායම් දෙක අතර මේ දක්වා පවත්වා ඇති එක්දින තරග 103න් ඔස්ට්‍රේලියාව තරග 64ක් ජයග්‍රහණය කර ඇති අතර, ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 35ක් පමණි. කණ්ඩායම් දෙක අතර පැවති එක්දින තරග 4ක් විසඳුමකින් තොරව අවසන් විය.
එහෙත් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 17 වතාවක් හමුවී ඇති අතර, ඉන් තරග 10ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර ඔස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය කර ඇත්තේ තරග 6ක් පමණි. තරගයක් විසඳුමකින් තොරව අවසන් විය. එබැවින් ක්‍රීඩාංගණයේ වාසිය ශ්‍රී ලංකාව සතුව තිබේ.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතිල්ලේ මුල් ඕවර 10කදී පමණ පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම තරමක් පහසු වනු ඇත. දඟ පන්දු යවන්නන් ක්‍රීඩාංගණයේ ආධිපත්‍යය දරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ක්‍රමයෙන් එය වෙනසකට භාජන වේ. පසුගිය වසරේ මේ ක්‍රීඩාංගණයේ පැවති ඉන්දියාව සමඟ එක්දින තරග තුනේදීම පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කිරීමට අසමත් විය. එම තරගාවලියේදී දඟ පන්දු යවන්නන් විශාල බලපෑමක් ඇති කළ ආකාරයටම ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියානු තරගයේ තත්ත්වය ද එලෙසම පවතිනු ඇත.
මේ ක්‍රීඩාංගණයේ පවත්වා ඇති එක්දින තරග 151න් පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම් තරග 82ක් ජයගෙන ඇති අතර, දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායම් ජයග්‍රහණය කර ඇත්තේ තරග 59ක් පමණි. ඉතිරි තරග 10 තීරණයකින් තොරව නිමාවට පත්ව තිබේ.
අද දහවල් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට සියයට 10ක 12ක සම්භාවිතාවක් පවතින හෙයින් තරගයට සුළු බාධාවක් ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ. කෙසේ වෙතත්, එම අනාවැකිය එතරම් කනස්සල්ලට කරුණක් නොවන්නේ, ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් ලෙස සඳහන් වන බැවිනි.
ටෙස්ට් තරගාවලිය ජයගත් නායක ස්ටීව් ස්මිත් යටතේ සිටින ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට පළපුරුදු ක්‍රීඩකයන් වන මාකස් ස්ටොයිනිස්, පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් නොමැති හෙයින්, ජේක් ෆ්රේසර්-මැක්ගර්ක්, කූපර් කොනොලි හා තන්වීර් සංගා වැනි තරුණ ක්‍රීඩකයන්ට මග පාදනු ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකාව ඔවුන්ගේ ශක්තිමත් දඟ පන්දු ප්‍රහාරය සහ පළපුරුදු පිතිකරුවන් මත විශ්වාසය තබා ඇත. එබැවින් අද තරගයට පිතිකරුවන් 7ක් දඟ පන්දු යවන්නන් 3ක් හා වේග පන්දු යවන්නන් 2ක් ලෙස සංයුතිය සකස් වනු ඇතැයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නායක චරිත් අසලංක පැවසීය. ඕක්ලන්ඩ්හිදී නවසීලන්තය සමඟ අවසන් වරට ක්‍රීඩා කළ කණ්ඩායම මේ එක්දින තරගයට ක්‍රීඩා කරනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින නායකයා අනාවැකි පළ කළ හෙයින් පැතුම් නිස්සංක හා අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙති. කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ හා ඒෂාන් මාලිංග තරගයට එක්වනු ඇත. එදා කණ්ඩායමේ සිටි චමිඳු වික්‍රමසිංහ මෙවර සංචිතයේ නැති හෙයින් ඒ වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු හෝ දුනිත් වෙල්ලාලගේ එක්වීමට නියමිතය.
“දඟ පන්දුව අපේ අවියයි. ඒ නිසා දඟ පන්දුවට හිතකර තණතිලිවල ක්‍රීඩා කිරීම හොඳයි. හැම රටක්ම බලන්නේ තමන්ට ගැළපෙන තණතිලිවල ක්‍රීඩා කරන්න. කාලගුණික තත්ත්වයන් මත තණතිලි වෙනස් නොවුණොත් හොඳ තණතිලි ලබා දිය යුතුයි. මේක දිවා තරගයක් නිසා අභියෝගාත්මකයි. නමුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිප දෙනකුම සිටින නිසා අපට තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. අපේ උත්සාහය තරගාවලිය 2-0ක් ලෙස ජය ගන්නයි” අසලංක පැවසීය.
ප්‍රින්ස් ගුණසේකර