11
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු ජාතික උපදේශක නෙරංජන් කුමාර මහතා සම්මේලනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා විෂමාචාරවල යෙදීම සම්බන්ධයෙන් චෝදනා 7කට වැරදිකරුවකු කර වසර 10ක තහනමක් පනවයි. ඒ අනුව මේ කාලය තුළ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලතල දැරීම හෝ අනුබද්ධ සංගමයක නිලතල දැරීම හෝ කායවර්ධන ක්‍රීඩාවේ නිරතවීම තහනම් කර ඇත.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය විවේචනය කිරීම, මිස්ටර් නොවිසස් තරගාවලිය වෙනුවෙන් සම්‍මේලනය ලබාදුන් රුපියල් 550,000ක මුදල වියදම් කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් නොකිරීම වැනි බරපතළ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් හිටපු ජාතික උපදේශකවරයා වැරදිකරු කොට තිබේ.
ජාත්‍යන්තර කායවර්ධන සම්‍මේලනයට අනුබද්ධ ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන ලයනල් කුමාර මහතාට මුහුණුපොත මඟින් බැණවදිමින් අපහසුතාවට පත් කිරීම, ක්‍රීඩා පනතට පටහැණිව ක්‍රියා කරමින් ව්‍යාජ කායවර්ධන සංගමයක් ප්‍රචලිත කිරීමට සෘජුව හා වක්‍රව කටයුතු කරමින් ජාතික සම්මේලනයට එරෙහිව කුමන්ත්‍රණ කිරීම, ව්‍යාජ කායවර්ධන සංගමයක තරගාවලියක් නියෝජනය කරමින් විනය පරීක්ෂණයකින් තහනම් ක්‍රීඩකයෙකු එම තරගාවලියට යෙදවීම යන කරුණුවලටද වැරදිකරුවී තිබේ.
විනිසුරු පාඨමාලා සමත්වී නැති අයෙකු වුවද, දෙමටගොඩ බේස්ලයින් පාරේ පැවැති කායවර්ධන තරගාවලියකදී විනිසුරුවෙකු ලෙස සහභාගිවී තරග විනිශ්චය කිරීමෙන් ක්‍රීඩකයින් අගතියට පත් කිරීම හා ආචාරධර්ම උල්ලංඝනය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ද නෙරංජන් කුමාර මහතා වැරදිකරු බවට පත්කොට ඇත.
ප්‍රින්ස් ගුණසේකර