26
ටෙස්ට් තරග බිමේදී වසර 10කට පසු එංගලන්තය පරදවා කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත් විය. ලන්ඩන් නුවර ඕවල් පිටියේ පැවැති තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකාවට මේ ඓතිහාසික ජයග්‍රහණය අත්කර දීමට පෙරමුණ ගත් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 127ක් රැස් කළ අතර, ඔහුට අනගි සහයක් දුන් ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලැබූ ලකුණු සංඛ්‍යාව 32කි. දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල සඳහා ගොඩ නැඟුණු නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 111කි.
ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තය හමුවේ ටෙස්ට් තරග ජයක් වාර්තා කරනු ලැබුවේ 2014 වසරේ ජූනි මස ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදීය. එම තරගයේදී නායකත්වයෙන් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් දෙවැනි ඉනිමේදී ලකුණු 160ක් රැස් කිරීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ ලකුණු 100කිනි. එම තරගයට ක්‍රීඩා කළ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න ඊයේ තරගයට ද ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. තුන්වැනි දිනය වූ පෙරේදා තරගය නිමා වන විට ලකුණු 219ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබා සිටි අතර, ඊයේ පස්වැනි ඕවරය යැවූ ගස් ඇට්කින්සන්ගේ පන්දුවකින් කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 39කටය. අනතුරුව පැතුම් සමඟ එක්වූ මැතිව්ස් ජයග්‍රහණය දක්වා ඉනිම ඇදගෙන ගියේ එංගලන්ත පන්දු යවන්නන් දැඩි පීඩනයකට හසු කරමිනි.
තරගයේ 35 වැනි ඕවරය යැවූ ඇට්කින්සන්ගේ පන්දුවකට ලකුණු 3ක් රැස් කරමින් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ පැතුම් නිශ්ශංක 41 වැනි ඕවරය යැවූ ෂොයිබ් බාෂිර්ගේ තුන්වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කළේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම්ගේ ශතකයට වැය වූයේ පන්දු 124ක් පමණි. හයේ පහර 2කින් සහ හතරේ පහර 13කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය.
වාසනාව ගෙන දුන් ඕවල් පිටියේදී ශ්‍රී ලංකා පිල අවසන් වරට ටෙස්ට් තරගයක් ජයගනු ලැබුවේ 1998 අගෝස්තුවේදීය. එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කළ අතර, මුත්තයියා මුරලිදරන් තරගය පුරා පන්දු යැවීමෙන් ආධිපත්‍ය පතුරුවලමින් කඩුලු 16ක් දවාලීමට සමත්ව තිබිණි. ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ පළමු ඉනිමේදී කඩුලු 7ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 9ක් ලෙසිනි. එම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු 213ක් රැස් කළ ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම ද විශේෂත්වයකි.
පළමු ටෙස්ට් තරග 2ම ජයගෙන සිටි එංගලන්තයට තරග 2-1ක තරගාවලි ජයක් හිමිවූවද ඊයේ ජයග්‍රහණයත් සමඟ වාර්තා රැසක් බිහි කළ ශ්‍රී ලංකා පිල සියලු ගෞරව දිනා ගත්තේය. තරගයේ වීරයා සම්මානය පැතුම් නිශ්ශංකට හිමි වූ අතර, ජෝ රූට් තරගාවලියේ වීරයා සම්මානයට හිමිකම් කීවේය.









