Home Sport News Room : ක්‍රීඩා ලොව වැඩිම ආදායම ඉපැයූ ක්‍රීඩකයා රොනාල්ඩෝ

News Room : ක්‍රීඩා ලොව වැඩිම ආදායම ඉපැයූ ක්‍රීඩකයා රොනාල්ඩෝ

0
0

ක්‍රීඩා ලෝකයේ වසරක වැඩිම ආදායම් ඉපයූ ක්‍රීඩකයා ලෙස පෘතුගාලයේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉතිහාසගත වෙයි. 2023 සැප්තැම්බර් 1 සිට 2024 සැප්තැම්බර් 1 දක්වා කාලය තුළ රොනාල්ඩෝ ඉන්දීය රුපියල් කෝටි 2081ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7428ක්) උපයාගත් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ආකර්ශණීය ආදායම ඔහු ක්‍රීඩා කළ තරගවලින් උපයාගත් මුදලින් සහ ක්‍රීඩා ලෝකයේ නව ආදායම් මාර්ග මතුවීම තුළින් සීඝ්‍ර ලෙස වැඩිවී ඇත.

ජෝන් රහම්

ගෙවී ගිය වසරේ ලොව දෙවැනි වැඩිම ආදායම ඉන්දීය රුපියල් කෝටි 1712ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6106ක්) උපයාගත් 29 හැවිරිදි ස්පාඤ්ඤ ගොල්ෆ් ක්‍රීඩක ජෝන් රහම් ලබා ඇත.

දැනට එක්සත් ජනපදයේ පදිංචිව සිටින ජෝන් රහම්, මහාද්වීප දෙකක සාර්ථක වූ ගොල්ෆ් ක්‍රීඩකයෙකු වේ. මේ වසරේ මාර්තු මාසය ගෙවී යද්දී ඔහු වෘත්තීය ගොල්ෆ් ජයග්‍රහණ 11ක් සහ යුරෝපීය සංචාරයේ තවත් ජයග්‍රහණ අටක් ලබා ගත්තේය.

ලයනල් මෙසී

පසුගිය පාපන්දු ලෝක කුසලානයේ ජය තහවුරු කරගත් ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීගේ වසරක ආදායම ඉන්දීය රුපියල් කෝටි 1074ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3830ක්) වේ. මෙම විශ්මයජනක ආදායම 37 හැවිරිදි මෙසී උපයාගෙන ඇත්තේ අමෙරිකාවේ ඉන්ටර් මියාමි පාපන්දු සමාජයේ කොන්ත්‍රාත් මුදල්ද සමඟය.

ලීබ්රොන් ජේම්ස්

අමෙරිකානු වෘත්තීය බාස්කට්බෝල් ක්‍රීඩක ලීබ්රොන් ජේම්ස් ඉන්දීය රුපියල් කෝටි 990ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3531ක්) උපයා ඇත. බාස්කට්බෝල් ක්‍රීඩාවේ කිං ජේම්ස් ලෙසින් හඳුන්වනු ලබන ඔහු ලොස් ඇන්ජලීස් ලේකර්ස් සමඟ අනුබද්ධව ක්‍රීඩා කරමින් සිටී.

කයිලියන් එම්බාප්පේ

මේ වසරේ රියල් මැඩ්රිඩ් සමඟ අමෙරිකානු ඩොලර් මිලියනයක ගිවිසුමක් අත්සන් කිරීම සමඟ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කයිලියන් එම්බාප්පේ මේ වසරේ ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 881ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3142ක්) වේ.

ගියානිස් ඇන්ටරෝකුන්පෝ

ග්‍රීසියේ වෘත්තීය බාස්කට්බෝල් ක්‍රීඩක ගියානිස් ඇන්ටරෝකුන්පෝ ගෙවී ගිය වසරේ ඉහළම ආදායම් ලැබූ ක්‍රීඩක ලැයිස්තුවේ 6 වන ස්ථානයේ පසුවේ. ඔහු ඉන්දීය රුපියල් කෝටි 873ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3113ක්) උපයා ඇත. 29 හැවිරිදි ඔහු ග්‍රීසියට අමතරව නයිජීරියානු වෘත්තීය බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් ලෙස ද ක්‍රීඩා කර ඇත.

නෙයිමාර් ජූනියර්

බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නේමාර් 2023 සැප්තැම්බර් 1 සිට 2024 සැප්තැම්බර් 1 දක්වා ඉන්දීය රුපියල් කෝටි 864ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3081ක්) උපයා ඇත. සෞදි අරාබි ප්‍රෝ ලීගය වෙනුවෙන් අල් හිලාල් ක්‍රීඩා සමාජයෙන් ලද අති විශාල මුදලක් ද මෙයට ඇතුළත්වේ.

කරීම් බෙන්සීමා

සුප්‍රකට ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සීමා ගෙවීගිය වසරේ ඉපැයීම් වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 864ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3081ක්) උපයා ඇත. සෞදි අරාබි ප්‍රෝ ලීගයේ අල් ඉතිහාඩ් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන 36 හැවිරිදි ඔහු රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් කුසලාන 25ක් දිනා ගැනීමට දායකත්වය සැපයීය.

විරාත් කෝලි

සුප්‍රකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි, විවිධ ආකෘතීන් හරහා ජයග්‍රාහී දස්කම් දක්වා ගෙවීගිය වසරක කාලයේ ඉන්දීය රුපියල් කෝටි 847ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3021ක්) උපයා ගත්තේය. ක්‍රීඩා ලෝකයේ වසරක වැඩිම ආදායම් ඉපයූ ක්‍රීඩක ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ කෝලි සිටී.

ස්ටෙපන් කරී

බාස්කට්බෝල් ක්‍රීඩක අමෙරිකාවේ ස්ටෙපන් කරී 2023 සැප්තැම්බර් 1 සිට 2024 සැප්තැම්බර් 1 දක්වා කාලය තුළ ඉන්දීය රුපියල් කෝටි 831ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2964ක්) උපයා ඇත. ඔහු ක්‍රීඩා කරන ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් බාස්කට්බෝල් කණ්ඩායමේ ද ආදායම් වැඩිවී ඇති අතර, එම කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ ස්ථානය තහවුරුවී ඇත.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here