Home Sport News Room : උතුරු මැද බැඩ්මින්ටන් ශූරතා ලෝචන සහ වරංගනා දිනති

News Room : උතුරු මැද බැඩ්මින්ටන් ශූරතා ලෝචන සහ වරංගනා දිනති

1
0

උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ඒකල ශූරතා දිනා ගැනීමට ලෝචන ද සිල්වා සහ වරංගනා ජයවර්ධන සමත් වූහ. පසුගියදා අනුරාධපුර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සහ මයික් කුක් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති එම ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-18ක් සහ 21-18ක් ලෙස සෙතුම් සිත්මික පෙරේරා පරාජය කිරීමට ලෝචන සමත් වූ අතර, කාන්තා විවෘත ඒකල අවසන් මහා තරගයේදී රෂ්මි මුදලිගේ ලකුණු 21-10ක්, 13-21ක් සහ 21-17ක් ලෙස පරාජය කිරීමට වරංගනා ජයවර්ධන සමත් වූවාය.

පිරිමි විවෘත යුගල අවසන් තරගයේදී දිනුර රෂ්මික ප්‍රියශාන්ත සහ සියත් දුල්නෙත් සේනාරත්න ලකුණු 21-16ක්, 16-21ක් සහ 21-19 කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරුගේ සමත් වූ අතර, ලකුණු 21-14ක් සහ 21-9කින් ඉසුරි අත්තනායක සහ සිතුමි මිනාරා ද සිල්වා පරාජය කළ හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න කාන්තා විවෘත යුගල ශුරතාව දිනා ගත්හ. විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ තුලිත් පල්ලියගුරුගේ සහ පංචාලි අධිකාරි ලකුණු 16-21ක්, 21-12ක් සහ 24-22ක් ලෙස පරාජයට පත් කළ ලෝචන ද සිල්වා සහ රෂ්මි මුදලිගේ විසිනි.

අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව දිනා ගැනීමට පමිත් බණ්ඩාර සමත් වූයේ ලකුණු 15-21ක්, 21-15ක් සහ 22-20ක් ලෙස හිරුක සහන්මිත් පරාජය කරමිනි. අමන්තා තත්සරණිට එරෙහිව ලකුණු 21-18ක් සහ 11-6 ක ජයක් වාර්තා කරමින් අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශුරතාව දිනා ගැනීමට කොමුතු කෙත්නාරා සමත් වූයේ තරගය අතර මැද අමන්තා තත්සරණි ඉවත්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය මෙය සංවිධානය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here