20
එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා පිල ඊයේ සිව්වැනි දින සවස තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 260ක් රැස් කර තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් අතැතිව ඉලක්කයට ලකුණු 223ක් පසුපසින් සිටියේය.
ධනංජය ද සිල්වා ලකුණු 45ක් සහ මාලාන් රත්නායක ලකුණු 26ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ලකුණු 53කට කඩුලු 2ක් බිඳ වැටී තිබියදී ඊයේ දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා ඉනිමේ දී දිනයේ පළමු කඩුල්ල ලෙස පෙරේදා සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය දැවී ගියේය. අනතුරුව දිමුත් කරුණාරත්නට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 55ක් එක් කළ අතර, ලකුණු 55ක් රැස් කර සිටි දිමුත් දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. පන්දු 129කට මුහුණ දුන් ඔහු හතරේ පහර 7ක් සමඟ ඊයේ රැස් කළේ 38 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36කට සහ 28 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස දිනේෂ් චන්දිමාල් ලකණු 58කට දැවී ගිය අතර, දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට ගොනඩඟූ සබඳතා ලකුණු 59කි.
පෙරේදා දැවැන්ත ඉලක්කයක් සමඟින් පිටියට පිවිසියත් පිට පිට සිව්වැනි වරටත් අසාර්ථක වූ නිශාන් මධුෂ්ක දැවී ගියේ ලකුණු පුවරුව 19ක්ව තිබියදීය. ලකුණු 13ක් රැස් කළ ඔහු මේ තරග ද්විත්වයේදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.
පැතුම් නිශ්ශංක ලකුණු 14කට දැවී ගිය අතර, සැඳෑ ආරක්ෂකයා ලෙස ප්‍රභාත් ජයසූරිය පිටියට පිවිසියේය.
තෙවැනි දිනය වූ පෙරේදා කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස් කර සිටි එංගලන්තය සිය දෙවැනි ඉනිමේදී ලකුණු 251කට දැවී ගිය අතර, පළමු ඉනිමෙන් හිමි වූ ලකුණු 231ක වාසියත් සමඟින් ශ්‍රී ලංකාවට ලකුණු 483ක ඉලක්කයක් දීමට එංගලන්තයට හැකි විය. දෙවැනි ඉනිමේදී එංගලන්ත පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණ ද එක් අන්තයක් රැකගත් ජෝ රූට් වාර්තා දෙකක් ද පිහිටුවමින් පිට පිට දෙවැනි ශතකය රැස් කළේය. ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 121කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 103ක් රැස් කර තිබිණි. මේ ලකුණු 103 සමඟ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග බිමේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු වීමට ද රූට්ට හැකි විය. මේ ඉනිමේදී රූට් 34 වැනි ටෙස්ට් ශතකය රැස් කළ අතර, ඉන් පෙර ඔහු හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් සමඟ ශතක 33ක් බැගින් රැස් කරමින් සම තත්ත්වයේ රැඳී සිටියේය. එමෙන්ම ලෝඩ්ස් පිටියේදී වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරු ලෙස ද රූට් වාර්තා අතරට එක් විය. මෙය රූට් ලෝඩ්ස් පිටියේ රැස් කළ 7 වැනි ශතකය වූ අතර, හිටපු ක්‍රීඩකයන් වන ග්රැහැම් ගූච් සහ මයිකල් වෝන් මේ පිටියේදී ටෙස්ට් ශතක 6 බැගින් වාර්තා කර තිබේ.
අද තරගයේ අවසන් දිනයයි.
එංගලන්ත පළමු ඉනිම – 427 (ඕවර 102) ජෝ රූට් 143, ගස් ඇට්කින්සන් 118 (අසිත ප්‍රනාන්දු 102/5, මිලාන් රත්නායක 89/2, ළහිරු කුමාර 101/2)
ශ්‍රී ලංකා පළමු ඉනිම – 196 (ඕවර 55.3) කමිඳු මෙන්ඩිස් 74 (මැතිව් පොට්ස් 19/2, ක්‍රිස් වෝක්ස් 21/2, ගස් ඇට්කින්සන් 40/2, ඔලි ස්ටෝන් 70/2)
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම
නිශාන් මධුෂ්ක ඇ.රූට් ප.ඇට්කින්සන් 13
දිමුත් කරුණාරත්න ඇ.ස්මිත් ප.ස්ටෝන් 55
පැතුම් නිශ්ශංක ඇ.රූට් ප.ස්ටෝන් 14
ප්‍රභාත් ජයසූරිය ඇ.බෘෘක් ප.වෝක්ස් 4
ඇන්ජලෝ මැතිව්ස් ඇ.වෝක්ස් ප.බෂිර් 36
දිනේෂ් චන්දිමාල් ඇ.ලෝරන්ස් ප.ඇට්කින්සන් 58
ධනංජය ද සිල්වා නොදැවී 45
කමිඳු මෙන්ඩිස් ඇ.ඩකට් ප.ඇට්කින්සන් 4
මිලාන් රත්නායක නොදැවී 26
අතිරේක 5
එකතුව කඩුල 7ක් දැවී (ඕවර 80) 260
(සවස තේ පානය වන විට)
කඩුලු බිඳ වැටීම: 1-19, 2-43, 3-60, 4-115,
5-115, 6-192, 7-200
පන්දු යැවීම: වෝක්ස් 16-4-33-1, ඇට්කින්සන්
13-4-43-3, බෂිර් 23-1-78-1, රූට් 4-1-9-1,
පොට්ස් 11-2-34-0, ස්ටෝන් 12-0-56-2,
ලෝරන්ස් 1-0-2-0.